Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 23, 2015

සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රය



මහණෙනි! දිගු කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව විනාශ වන්නේ ද, එබඳු වු කාලයෙක් ඇති වේමය. එසේ ලොව විනාශ වන කල්හී සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබලෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔවුන් දීර්ඝ කාලයක් සිටිති . මහණෙනි,දිගු කලක් ඇවෑමෙන් යම් කිසි කාළයක මෙලොව නැවත ඇතිවන කාලයෙක් වෙයි. එසේ නැවත ලොව ඇතිවන කළ හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හී එක්තරා සත්ත්වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් චුතව හිස් බඹවිමනෙහි උපදී. හෙතෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුර එළියෙන් බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කළු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි. එහි ඔහු හුදකලාව බොහෝ කලක් වාසයකළ හෙයින් 'අන් සත්වයෝ ද මේ අත් බවට පැමිණෙන්නේ නම් යෙහෙකැ' යි ප්‍රාර්ථනාවක් තෘෂ්ණාවක් ඔහුට පහළ වෙයි. ඉක්බිති තවත් සත්වයෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් චුතව ඒ බඹවිමනට , ඔහුගේ සහභාවයට පැමිණෙත්, ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති , ස්වයම්ප්‍රභා ඇත්තෝ වෙති , ආකාශචාරී වෙති , සිත්කළු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොයෙක් සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ )වෙති . ඔහු එහි ඉතා දිඟු කලක් සිටිති . මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පලමු කොට උපන්නේ ද, ඔහුට මෙසේ සිතක් පහළ වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි. අන් හැම මැඩපවත් වා සිටින්නෙක් වෙමි. අනුන් විසින් නොමඩනා ලද්දෙක් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දන්නෙක් වෙමි, සියල්ලන් කෙරෙහි පවත්වන්නෙම් වෙමි, ඊශ්වර වෙමි, කර්තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින්ද ? යත්: 'අන් හැම සත්ත්වයෙකුම මෙහි මේ අත්බවට එන්නාහු නම් හොඳයැයි පූර්වයෙහි මට මේ සිත පහළ විය. මෙසේ මාගේ ප්‍රාර්ථනාව ද විය. මේ සත්ත්වයෝත් මගේ ඒ ප්‍රාර්ථනාව අනු ව මේ අත්බවට පැමිණ ඇත " යනු යි. යම් සත්වයෙක් පසුව උපන්නෝ ද ඔවුනට මේ සිත වෙයි. 'මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නේ ය, අනුන් විසින් නොමැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වසඟයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්තෘ ය, නිර්මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය, පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ උතුම් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින්ද ? යත්: මොහු වනාහී අපට පලමු ව මෙහි ඉපදී සිටි බව අපි දුටුවමු. අපි වනාහී පසු වැ උපන්නෝ වෙමු ” යනුයි.
සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රය

අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයයි!



දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.
මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.
ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.
මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.
සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.
සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org

Saturday, December 5, 2015

ගබ්සාව සහ ප්රාුණඝාතය Path to Nirvana

දරු ගැබක් ඇති වීමත්, එය නැති කිරීමේ විපාකත් හෙළි කැරෙන මේ ලිපිය සුචරිතවාදීන් ලෙස පෙනී සිටින, එහෙත් මුදලට ගබ්සාවේ යෙදෙන ඇතැම් වෛද්‍යවරුන්ට පරලොව සිහි කරයි.
දරු ගැබ දිය වී යෑම හෝ දිය කිරීම, කලල රූපය විනාශ කිරීම හෝ විනාශ වීම ගබ්සාව ලෙසින් හඳුන්වනු ලැබේ. ඒ අනුව ගබ්සා කිරීම යනු ඖෂධාදියෙන් හෝ වෙනත් උපක්‍රමයකින් ගැබ විනාශ කිරීම යි; නො එසේ නම් කලල රූපය දිය කර හැරීම යි. නූතන සමාජයේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බවට ගබ්සාව පත් වී ඇත. ගබ්සාව නමැති සමාජ ගැටලුව පිළිබඳ ව සමාජය තුළ බොහෝ පර්යේෂණ, සාකච්ඡා සිදු වී ඇත.
මිනිසා ද සත්ත්වයෙකි. පඤ්චකාම විෂයයෙහි ඇලීම් ස්වභාවයක් තිබුණ ද උසස් මනසක් ඇති නිසා ඉන් ඈත් වීමේ හැකියාව ද ඔහු සතු ය. චින්තනය ඉතා උසස් ලෙස භාවිත කළ හැකි බැවින් මනුෂ්‍ය සත්ත්වයා අනෙක් සත්ත්වයන්ට වඩා විශේෂ වේ. බුද්ධත්වය නමැති ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් විය හැක්කේ ද මිනිසාට ම ය. එමෙන් ම පසේ බුදු, මහරහත්, බෝධිසත්ව ආදි වශයෙන් සාකච්ඡා කරන්නා වූ මානසික දියුණුවේ උච්චතම අවස්ථාවන්ට පත් විය හැක්කේ ද මිනිසාට ම ය.
මිනිස් සත්ත්වයාගේ උපත හුදු භෞතික ක්‍රියාදාමයක් නො වේ. දරු උපතක් සදහා පාදක වන ප්‍රධාන සාධක තුනක් පිළිබඳ ව මජ්ඣිම නිකායේ මහා තණ්හාසංඛය සූත්‍රයෙහි දැක්වේ.
මහණෙනි, තුන්දෙනකුගේ සමවධානයෙන් ගර්භාවක්‍රාන්ති (ගැබ් ගැනීම්) වෙයි. මේ සත්ත්ව ලෝකයෙහි දෙමවුපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නොවූ ද, ගඳඹෙක් (එහි උපදනා තෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්භාවක්‍රාන්ති නො වෙයි. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේ ද, එතෙකනිදු ගර්භාවක්‍රාන්ති නො වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමවුපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේ වේ ද, මෙසේ තුන් දෙනකුන්ගේ සන්නිපාතයෙන් ගර්භාවක්‍රාන්ති වෙයි.
මේ අනුව දරුවකු පිළිසිඳගැනීම උදෙසා සම්පූර්ණ විය යුතු කරුණු මෙසේ ය:
1. මවුපිය දෙදෙනාගේ කායික එක් වීම
2. දරු ගැබක් හට ගැනීමට යෝග්‍ය ශාරීරික තත්ත්වයක් මවු කුසෙහි තිබීම (ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම)
3. උපතක් අපේක්‍ෂා කරන ගන්ධබ්බයකුගේ පැමිණීම
මෙම කරුණු සියල්ල සම්පූර්ණ වූ විට දරුවකු පිළිසිඳගන්නා බව බෞද්ධ අදහස යි. දරුවකු සඳහා මවුකුස සකස් වීමේ දී මවගේ ගර්භාශයෙහි දරුවකු පිළිසිඳගැනීම සඳහා පියාගේ සෙනෙහස, ආදරය, රැකවරණය වැනි බාහිර සාධක බෙහෙවින් හේතු විය හැකි බව සඳහන් වේ. නූතන විද්‍යාවට අනුව මෙහි දී ස්ත්‍රියකගේ ඩිම්බාණුවක් පුරුෂයකුගේ ශුක්‍රාණුවක් සමග එක් වී යුක්තාණුවක් සෑදේ. ජීවිතයක ආරම්භය යුක්තාණුව යි. එනම් ඒ මොහොතේ සිට ම මනස සකස් වේ. ඉදින් යුක්තාණුවෙන් ජීවය ඇරඹේ. එසේ නම් කළලය යනු ජීවිතයකි. මෙලෙස මවු කුස පිළිසිඳගත් දරුවකුගේ වර්ධනය සිදු වන ආකාරය පිළිබඳ ව බුදුදහම විග්‍රහ කර ඇත. සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රය මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. එක් අවස්ථාවක බුදු රජාණන් වහන්සේ ඉන්දකූට පර්වතයේ ඉන්දක යක්ෂයාගේ භවනෙහි වැඩ සිටින විට යක්‍ෂයා බුදු රජාණන් වහන්සේගෙන් මෙසේ අසයි:
බුදුවරයෙක් රූපය ජීවය ය යි නො කියත්. (එසේ නම්) මේ සත්ත්ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ කෙසේ නම් මවුකුස ලැගේ ද?”
බුදු රජාණන් වහන්සේගේ පිළිතුර මෙසේ ය:
පළමු කොට කලල රූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගනී. පේසියෙන් ඝන නම් මස් පිඬෙක් හට ගනී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගනී. ඉන් පසු කෙස් ද ලොම් ද නිය ද හටගනිත්. ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද මවුකුසට පැමිණි ඒ සත්ත්ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.
මජ්ඣිම නිකායේ මහාතණ්හාසංඛය සූත්‍රය ඒ පිළිබඳ ව තවදුරටත් මෙසේ දක්වයි:
මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිවි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගුරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත් සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්ය විනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.
ක්‍රමයෙන් වර්ධනය වන්නා වූ දරු ගැබ දරමින් මව නම් උත්තම කාන්තාව අනතුරු ව මෙලොවට බිහි කරන දරුවා තම ලෙය කිරට හරවා පෝෂණය කරයි. ගන්ධබ්බයකුගේ පැමිණීම යනු ප්‍රතිසන්ධි සිතක් පහළ වීම යි. ගන්ධබ්බයා යනු උත්පත්ති විඥානය යි. ප්‍රතිසන්ධි සිතක් පහළ වන්නේ නම් සැබැවින් ම එම යුක්තාණුව (කලල රූපය) යනු ජීවියෙකි. නො එසේ නම් මව තම කුස තුළ දරා සිටින්නේ නූපන් ජීවයකි.
මවු කුසක හටගත් නූපන් ජීවයා මරාදැමීම ගබ්සාව යි. බුදු සමයට අනුව ප්‍රාණඝාතය අකුසල කර්මයකි. එසේ නම් ගබ්සාව ද එවැනි ම අකුසල කර්මයකි. නූතන ලෝකයේ දිනෙන් දින වැඩි වෙමින් පවතින මේ මනුෂ්‍ය සංහාරය කිසිදු විටක බුදුසමය අනුමත නොකරන බව සඳහන් කළ යුතු ය. මවු කුසෙන් බාහිර ලෝකයට පැමිණි දරුවකු නොවුව ද කුස තුළ පිළිසිඳගත් අවස්ථාවේ සිට වර්ධනය වන්නේ ජීවිතයකි. ඒ ජීවිතයට ජීවත් වීමේ අයිතිය නැති කිරීම අකුසලයකි. එමෙන් ම එසේ කිරීමට මවට හෝ පියාට හෝ වෙනත් කිසිවකුට හෝ අයිතියක් නැත. එය කෙසේ කළත් ප්‍රාණඝාත අකුසලයකි. බුදුදහම පමණක් නො ව, කුමන ආගමක් වුව ද ගබ්සාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ යුතු ය. දරු ගැබක් විනාශ කිරීමෙන් සිදු වන්නේ මනුෂ්‍ය ඝාතනයකි. ගර්භනාශය පුද්ගලයාගේ සාංසාරික ජීවිතය සඳහා බලපාන ආකාරය පේතවත්ථුවෙන් පැහැදිලි වේ.
පේතවත්ථුවෙහි එන පඤ්ච පුත්‍රඛාදක පේතවත්ථුව පිළිබඳ ව විමසීමේ දී දරු ගැබ විනාශ කිරීමේ පාප කර්මය සාංසාරික වශයෙන් බල පෑ ආකාරය සඳහන් කළ හැකි ය. සැවැත්නුවර අසල ගමක වාසය කළ ගෘහපතියකුගේ බිරියට දරුවන් වැදීමට නොහැකි වූ බැවින් ඔහුගේ නෑදෑයන් ඔහුට පවසන්නේ වෙනත් කාන්තාවක කැන්දාගෙන එන ලෙස යි. එහෙත් තම බිරියට ඇති සෙනෙහස නිසා ඔහු ඊට අකැමැති විය.
මේ පිළිබඳ ව අසා සිටින බිරිය, කුලවංශය රැකගැනීම සඳහා වෙනත් කන්‍යාවක රැගෙන එන ලෙස ඔහුට පවසයි. ඒ හේතුවෙන් ඔහු තවත් බිරියක කැඳවාගෙන එයි. කෙටි කලකින් ම ඈ ගැබ් ගනියි. එහෙත් මුල් බිරිය සිතන්නේ ඇයට දරුවා ලැබුණ හොත් ඇය නිසා නිවෙසේ සතුට සොම්නස වර්ධනය වන හෙයින් තමන් ගැන නොසැලකීමක් ද සිදු විය හැකි බව යි.
මෙහි දී ඈ තුළ හටගන්නේ දැඩි ඊර්ෂ්‍යාවකි. ඒ නිසා ම ඇය එක්තරා පරිව්‍රාජිකාවක වෙත ගොස් දරු ගැබ විනාශ කළ හැකි බෙහෙතක් ලබාගෙන එය ගැබිනියට නොදැනෙන සේ කිසියම් උපක්‍රමයකින් ශරීරගත කරයි. එනිසා ඇගේ දරුවා ගබ්සා වෙයි.
එයින් ශෝකයට පත් වන දෙවන බිරිය ද මේ පිළිබඳ ව තම මෑණියන්ට පවසයි. ඒ අවස්ථාවේ කරුණු විමසා බැලූ ඔවුහු පළමු බිරිය සැක කොට, ඒ පිළිබඳ ප්‍රශ්න කරති. ඇය ඔවුන්ට ප්‍රකාශ කරන්නේ තමන් එසේ නොකළ බව යි. එසේ නොකළේ නම් දිවුරන්නැ යි කී විට ඇය එසේ නොකළ බවට මුසා පවසමින් එසේ කළේ නම් තමන් බිහි කරන දරුවන් තමන් ම කන දුගඳ හමන නිලමැස්සන් වසන ප්‍රේතියක් බවට පත් වනු ඇතැ යි ශපථ කරයි. සත්‍ය ප්‍රකාශ නොකිරීමත්, කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයක් මත යම් දිනයක තමාට විපාක විඳින්නට සිදු වන බව ඇය නො සිතුවා ය; පවට බිය නොවූවා ය. එහෙත් සිදු වූයේ කුමක් ද? ඇය ඉක්මනින් මිය ගියා ය. කරන ලද අකුසල කර්මයේ විපාක සාංසාරික වශයෙන් ඈ කෙරෙහි බලපෑවේ ය. ඈ ප්‍රකාශ කළ පරිදි ම දුර්වර්ණ නිලමැස්සන් ගැවසෙන, දුගඳ හමන ප්‍රේතියක ව එම ගම සමීපයේ ම ඉපදුණා ය.
කරන ලද කර්මය හොඳ හෝ නරක වුව ද එහි විපාකය විඳින්නට සිදු වන බව මෙමඟින් පැහැදිලි වේ. එමෙන් ම මෙම කථා වස්තුවෙන් දැක්වෙන්නේ ගර්භානශයෙහි ආදීනව යි; ඊට ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදි අකුසල මූල සිතිවිලි බලපාන ලද ආකාරය යි.
මේ ප්‍රේතියට තමන් විසින් කරන ලද කර්මයෙහි විපාක දුරු කරගෙන සුගතිගාමි වීමට සිත් වෙයි. බුදු රජාණන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා අට නමකට තමන් දැක්වූ ප්‍රේතිය තමාගේ විස්තරය පවසයි. කුණු ගඳ ගසමින්, බියකරු රූපයෙන් යුතු ව වස්ත්‍ර රහිත ව ඉතා පිළිකුල් ව සිටින ඇය ප්‍රකාශ කරන්නේ,
ස්වාමීනි, මම යම ලෝකය නම් වූ ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ, දුකට පැමිණියා වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි. උදය කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද, සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද වදමි. ඒ වදන වදන දරුවන් මම ම කමි. ඒ දරුවන් දස දෙනා ම මගේ කුසගින්න නිවාගැනීමට ප්‍රමාණවත් නො වේ. මගේ හෘදය හාත්පස උදරාග්නියෙන් දැවෙයි; දුම් දාන්නේ වෙයි. ඒ දැවිල්ල නිවාගැනීමට පිය පැන් මට බීමට නො ලැබේ. විපතට පත් වූ මා දෙස බලනු මැනවියනුවෙනි.
ගබ්සාවක් සිදු කරවීම හා මුසා පැවසීම නිසා ඇය ලැබූ ඉරණම මෙය යි. ප්‍රේතියක ව ඉපිද දරුවන් වදා තම දරුවන් ම ආහාරයට ගන්නා තත්ත්වයට ඇය පත් වී ඇත. ඇය තවදුරටත් තමා විසින් කරන ලද අකුසලය මෙසේ පැහැදිලි කරයි:
ඉදින් මම ඒ පුත්‍ර ගර්භය පතනය කළේ නම්, මගේ ම දූදරුවන් කන්නියක් වෙමි.ඒ ගැබ හෙළීමේ ප්‍රාණඝාත කර්මයාගේ ද මුසාවාද අකුසල කර්මයාගේ ද විපාක දෙක ම කරණ කොටගෙන, පූයාවෙන් හා ලෙයින් වැකුණු සිරුරු ඇති ව, දරු මස් අනුභව කරමි.
මෙම ප්‍රේතිය එම විපාකයට ගොදුරු වී ඇත. මෙවැනි ම තවත් සිදු වීමක් සප්තපුත්තඛාදක ජේතවත්‍ථුවේ එයි.
නූතනයේ ලොව පුරා විහිද ඇති ගබ්සා මධ්‍යස්්ථානවල දිනෙන් දින සිදු කරනු ලබන ගබ්සාවන්හි විපාක ඊට සම්බන්ධ වන්නා වූ සියලු දෙනාට ම කවරදා හෝ විඳින්නට සිදු වන බව සඳහන් කළ යුතු ය.
බුද්ධකාලීන සමාජය තුළ පවා මෙවැනි ගැටලු දැකිය හැකි විය. එහෙත් වර්තමාන සමාජය තුළ මෙන් සමාජ ගැටලුවක් බවට පත් නොවූ බව, විශාල වශයෙන් ගබ්සා කිරීම් දක්නට නොලැබුණු බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඒ සඳහා එකල්හි ද විවිධ ඖෂධ වර්ග ආදිය භාවිත කළ බව පෙනේ. උක්ත කතාන්තර මගින් ගම්‍යමාන වන්නේ ගබ්සා කිරීම නිසා මානසික හා සමාජීය වශයෙන් ගැටලු ඇති වන බව යි. විශේෂයෙන් ම ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය ද්වේෂය බව පෙනේ. ද්වේෂය පදනම් වූ ක්‍රියාවේ ප්‍රතිඵලය ද ද්වේෂ සහගත වේ. මෙලොව එළිය වත් නුදුටු කිරිකැටි බිලිඳකු මරාදමන්නට සිතක් පහළ වන්නට නම් කොතරම් ද්වේෂයක් ඇති විය යුතු ද? මෙසේ අනුන්ගේ දරුවකු නො ව, තමන්ගේ ම දරුවන් ගබ්සා කරන මවුපියෝ සිටිති. එසේ නම් ඒ ද්වේෂය කොතරම් ද? එහි විපාකය කෙබඳු ද?
එමෙන් ම තමන්ට දරුවකු ජීවත් කරවීමට නොහැකි වුව ද තම ගැබෙහි පිළිසිඳගත් දරුවා මරා නොදමා රැකගත් මවුවරුන් බුද්ධ කාලීන සමාජයේ පවා සිටි බව සඳහන් කළ යුතු ය. කුමාර කාශ්‍යප මාතාව උදාහරණයකි. ඇය ගිහි කාලයේ තම ස්වාමිපුරුෂයාට දා ව කුසෙහි
දරුවෙක් පිළිසිඳගනී. එහෙත් ඒ බව දැනගන්නේ උතුම් පැවිදි භාවයට පත් වීමෙන් අනතුරු ව ය. භික්‍ෂුණියකට දරුවකු ලැබීම යනු කිසි සේත් ම යෝග්‍ය වූවක් නො වේ; එමෙන් ම විනය නීතිවලට එකඟ වූවක් ද නො වේ. ගිහි ජීවිතයෙන්, කාමයන්ගෙන් වෙන් වූ පැවිදි ජීවිතයට එය බරපතළ වරදකි.
ඒ භික්‍ෂුණිය එම අවස්ථාවේ දී පත් වූ මානසික තත්ත්වය කෙබඳු ද? එහෙත් ඇය උතුම් බුදු මඟ ගමන් ගත් භික්ෂුණියකි. ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාක ඇය හොඳින් දන්නී ය. එමෙන් ම භික්‍ෂුණියක ලෙස ඇය කිසිදු වරදක් කර නොමැති නිසා දිරිමත් ව ගැබ දරා සිටිමින් පෝෂණය කළා ය. ගිහි බැඳීම්වලින් අත්මිදීමට පැවිදි ජීවිතය තුළ වැර දැරිය යුතු වුව ද, ගිහි කල තමන් ලද මේ මහා සම්පත විනාශ කරන්නට ඇය චේතනාවක් හෝ පහළ කර නොගත්තා ය.
බුදු රජාණන් වහන්සේට ගැබිනි භික්‍ෂුණියක පිළිබඳ තොරතුරු සැල වූ විට උන් වහන්සේ ක්‍ෂණික ව ඒ පිළිබඳ විමසන්නට කමිටුවක් පත් කළ අතර එතුළින් ඇය ගිහි කල දරුවකු හට ගත් බව සාක්ෂාත් විය. සැබැවින් ම කුමාර කාශ්‍යප මාතාව නිදොස් වූවා ය. ඇය දස මසක් ඇවෑමෙන් බිහි කළ පුතණුවන් ද බුද්ධ ශාසනයට ම පූජා කළා ය. එය ඇයට තවත් පුණ්‍යකර්මයක් විය. භික්‍ෂුණියකට දරුවකු ලැබෙන්නට සිටින ආරංචිය පැතිරී ගිය විට බොහෝ දෙනා ඇයට දෝෂාරෝපණය කරන්නට ඇත. ඇතැම් භික්‍ෂුණීන් ඇය ආරාමයෙන් නෙරපාදමන්නට උත්සාහ කරන්නට ඇත. ඇතැම් විට ඇයට ප්‍රත්‍ය පහසුකම් පවා නොලැබී යන්නට ඇත. එහෙත් ඇය ඉවසුවා ය; තම පැවිදි භාවය හෝ මාතෘභාවය විනාශ කර නොගත්තා ය. ගබ්සා කොට තම දරුවත් මරාදමන කාන්තාවන්ට ඇය ඉමහත් ආදර්ශයකි.

ගබ්සාවක දී විනාශ කරදමනු ලබන්නේ ජීවයකි; ජීවිතයකි; මනුෂ්‍ය සත්ත්වයෙකි; ප්‍රාණයකි. එසේ නම් එය සැබැවින් ම ප්‍රාණඝාතයකි. ඒ ප්‍රාණඝාතය කරන්නා ද කරවන්නා ද ඊට උපක්‍රම යොදන්නා ද ඊට අනුබල දෙන්නා ද චේතනාවක් හෝ පහළ කරගන්නා තැනැත්තා ද ප්‍රාණඝාත අකුසල කර්මයට දායක වෙති. සිතට වහල් වී ලිංගික සබඳතාවල යෙදෙන්නන් තවත් ජීවියකු මරාදැමීමේ අකුසලය තමන් විසින් කරගනු ලබන්නේ දැ යි පළමු ව සිතිය යුතු ය.

Friday, December 4, 2015

නුවණ වැඩෙන බෝසත් කතා කට්ඨහාරී ජාතකය



දර ගෙන යන ළඳ ගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ,
මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා.
සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.
ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ මහානාම ශාක්‍යයා රජ බවට පත්වුනා. ඒ ශාක්‍යවරුන් ගේ මාළිගාවේ ඉතාම ලස්සන රූප ශෝභා ඇති නාගමුණ්ඩා නමින් දාසියක් සිටියා. මහානාම ශාක්‍ය රජු නිසා මේ නාගමුණ්ඩාට දියණියක් ලැබුනා. මව් පක්ෂයෙන් දාසියක් වුනාට පිය පක්ෂයෙන් රාජ කන්‍යාවක්. ඈත් ගොඩාක් ලස්සනයි. දුටු දුටුවන් ගේ නෙත් සිත් පැහැර ගන්නවා. ඈ තමයි වාසභඛත්තියා.
කොසොල් ජනපදය ශාක්‍ය ජනපදයට යාබදව පිහිටි මහා රාජ්‍යයක්. බුදුරජාණන් වහන්සේ වැඩි කලක් ගත කළේ සැවැත් නුවර නිසා ත්, උන්වහන්සේට සියලු සොළොස් මහා ජනපද වල ඇති මහා පිළිගැනීම නිසාත්, කොසොල් රජතුමාට ශාක්‍ය වංශය සමග නෑදෑකමක් ගොඩනගා ගන්ට ඕන වුනා. ඒ කාලේ බොහෝ රජවරු නෑදෑකම් ගොඩනගා ගත්තේ රජ කුමර කුමරියන්ගේ ආවාහ විවාහ වලින්.
ඉතින් කොසොල් රජුටත් ශාක්‍ය කුමාරියක් තමන් ගේ අන්තඃපුරයට කැඳවා ගන්න ඕන වුනා. රජදූතයෝ ගිහින් ශාක්‍ය රාජ සභාවට දැනුම් දුන්නා. එතකොට ශාක්‍යවරු ශාක්‍ය කුමාරියක් ලෙසට වාසභඛත්තියා සරසලා පිටත් කෙරෙව්වා. කොසොල් රජු වාසභඛත්තියා ගේ රුවට වශී වුනා. කොසොල් රජු නිසා වාසභඛත්තියාට පුත් කුමරෙක් උපන්නා. ඔහු ගේ නම විඩූඩභ. මොහු කුමාරයෙකුව සිටියදී මව් පක්ෂයේ නෑදෑයන් බලන්ට ශාක්‍ය ජනපදයට ගියා. කව්රුවත් කිසි වෙනස් කමක් දැක්වූයේ නෑ. පිළිගැනීමේ උත්සවය හොඳට කළා. ඉතා හොඳින් කෑම් බීම් වලින් සංග‍්‍රහ කළා. විනෝද වුනා. රාජකීය සැලකිලි ලැබුනා.
කුමක්දෝ සසරේ කළ පවකට වාගේ විඩූඩභ කුමාරයා ආපසු යද්දී ඔහු ළඟම සිටි ආරක්ෂක භටයෙකුට කඩුව අමතක වුනා. කඩුව ගේන්ට රැස්වීම් ශාලාවට දුවගෙන යද්දී, වාසභඛත්තියා ගේ සම්පත් වලට ඊර්ෂ්‍යයා කළ එක්තරා දාසියක් වාසභඛත්තියාට දාසිය කියමින් බැණ බැණ විඩූඩභ කුමාරයාට දාසී පුත‍්‍රයා කියා බැණ බැණ කුමාරයා වාඩි වී සිටි ආසනය සෝදමින් සිටියා. නීච කෙනෙක් වාඩි වෙලා කුලවතුන් ගේ ආසනය අපවිත‍්‍ර වුනා කියලයි එය සේදුවේ.
ආරක්ෂක භටයා ඒ හැම දෙයක් ම හොරාට අහගෙන හිටියා. ගිහින් විඩූඩභ කුමාරයා ගේ කනේ තිබ්බා. විඩූඩභ වෛර බැඳගත්තා. ඔය වගේ කතා සඟවන්ට බැහැ. හෝ හෝ ගාලා හැම තැනම පැතිරුනා. පැතිරුනේ වාසභඛත්තියා රාජ කන්‍යාවක් නොවේ. ඈ දාසියක්. විඩූඩභ රජකුමරෙක් නොවේ. දාසී පුත‍්‍රයෙක් කියලා.
කොසොල් රජතුමාර කරගන්ට දෙයක් නෑ. වස ලැජ්ජාව. මූණ රතු කරගෙන ඉන්නවා. ඇමතිවරුන්ට මූණ දෙන්ටත් අමාරුයි. පුරෝහිත බමුණොත් අමුතු විදිහට බලනවා. රජතුමා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වාසභඛත්තියා අගබිසෝ තනතුරින් ඉවත් කළා. විඩූඩභ කුමාරයට දීලා තිබුන රාජකුමාර පදවියත් ඉවත් කළා. දැන් දෙන්නාම මාලිගයෙන් එළියට එන්නේ නෑ. හැංගිලා වගේ ඉන්නේ. විඩූඩභ දවසින් දවස ශාක්‍යයන්ගෙන් පලිගන්න දිනය එනතුරු ඇඟිලි ගණන් කර කර ඉන්නවා.
භාග්‍යවතුන් වහන්සේට මේ හැම දෙයක් ම පේනවා. වෙන්න තියෙන හැම දෙයක් ම දන්නවා. මේ දෙන්නා ගේ වෛරය සංසිඳුවන්න ඕනා කියල භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා උදේ වරුවක මාලිගයට වැඩියා. කොසොල් රජු වහා ඇවිත් භාග්‍යවතුන් වහන්සේව ආසනයෙහි වඩා හිඳෙව්වා.
මහරජතුමනි…. අපේ වාසභඛත්තියා පේන්ට නැත්තේ මොකදකොහේවත් ගිහින් ද?”
අනේ භාග්‍යවතුන් වහන්ස…. මං මහා අමාරුවක නොවැ වැටුනේ. දෙන්නාම අයින් කළා. මං කොහොමෙයි දාසි පුත‍්‍රයෙකුට රජකොම දෙන්නේ? වාසභඛත්තියා කියන්නේ ශාක්‍ය මාලිගයට දර දිය ඇදපු දාසී කෙල්ලක් නොවැ
මහරජතුමනිවාසභඛත්තියා නාගමුණ්ඩා ගේ දියණියක් බව මටත් දැනගන්ට ලැබුනා. නමුත් ඇගේ පියා කව්ද? ඈ කා නිසා ද උපන්නේ? ඈ කාගේ කව්ද…..?”
භාග්‍යවතුන් වහන්ස, ඈ මහානාම ගේ දියණියක් නම් තමා
ඉතින් මහරජතුමනි, වාසභඛත්තියා නමැති මේ රාජ දියණිය මහාරජ කෙනෙකු ළඟටයි ආවේ. ඒ රජු නිසා ම යි පුතෙක් ලැබුනේ. ඒ පුතාට පියා සන්තක රජකම ලබන්ට බැරි මක් නිසාද? මෙතැන කිසි ගැටලුවක් නැහැ රජතුමනි. විඩූඩභ කුමාරයා රජකමට සුදුසුයි. කලින් ලබා දුන් තනතුරු වලට දෙන්නාම සුදුසුයි.
මහරජතුමනි, ඉස්සර කාලේ කැලෙන් දර කඩා ගෙනියන ළඳකට රජෙකු නිසා පුතෙක් ලැබුනා. රජතුමා ඒ පුත‍්‍රයාට පවා රාජ්‍යය දුන්නා
එතකොට ඒ අතීතයේ සිදු වූ දේ අහන්න කොසොල් රජුට ආසා හිතුනා. භවයේ සැඟවී ඇති ඒ කතාව කියාදෙන්න කියල රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා.
මහරජතුමනි, ගොඩාක් ඉස්සර කාලෙ බරණැස බ‍්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. දවසක් මොහු වන සිරි නරඹන්න මහා යස පිරිවරින් වනයට ගියා. එදා ඒ වනයේ වනමල් නෙල නෙලා, පළතුරු සොය සොයා, ඉතාම ලස්සන සිංදු කිය කියා දර කැබලි රැස් කරමින් සිටින ළඳක් දැක්කා. ඈ ඉතා ලස්සන දිළිඳු දාසියක්. රජතුමා ඇගේ හඬටත් රුවටත් වසඟ වුනා. ඈ සමීපයට ගියා. ඒ වනයේ ම ඈ සමග සංවාසයේ යෙදුනා. එසැණින්ම ඇගේ කුසට බරක් දැනුනා. ඒ බෝධිසත්වයෝ ඇගේ කුසේ පිළිසිඳ ගත් මොහොතයි. එතකොට ඈ හඬන්න පටන් ගත්තා.
…. අනේ…. දේවයන් වහන්ස…. මේ ගැත්තීට අනුකම්පා කරන සේක්වා…. මේ දැන් මගේ කුසට මහාබරක් දැනුනා. දරුවෙක් පිළිසිඳ ගත්තා කියලයි මට හිතෙන්නේ…. අනේ…. මං අසරණ වේවි
එතකොට රජතුමා ඇඟිල්ලෙන් රාජලාංඡනය සහිත මුද්දක් ගැලෙව්වා. ඇගේ අතට දුන්නා.
එම්බල කෙල්ලේ…. තී භය වෙන්ට එපා. මේක රාජ මුද්දක්. දුවෙක් ලැබුනොත් මේ මුද්ද විකුණලා ඈව පෝෂණය කරාපන්. පුතෙක් ලැබුණොත් මේ මුද්ද දීලා රජ මැදුරට එවාපන්කියල පිටත් වෙලා ගියා.
ඒ දර ගෙනියන ළඳ ගේ කුසින් බෝධිසත්වයෝ උපන්නා. දරුවා දුව පැන සෙල්ලම් කරන කාලේ ආවා. අප්පා නැති එකා නොවැකියල අනිත් ළමයි විහිළු කරනවා.
එතකොට දරුවා මව් වෙත දුවගෙන යනවා…. අනේ අම්මේ….. අපේ තාත්තා කෝ…. මට ළමෝ විහිළු කරනවා. මට තාත්තෙක් නැතිලු. ඇත්තටම කව්ද අම්මේ මගේ තාත්තා.
මයෙ රත්තරන් පුතේ…. ඔයා නිකං කෙනෙක් නොවෙයි. ඔය ළමෝ දන්නෙ නෑ. ඔයා රජපැටියෙක්…! ඔයා බරණැස මහරජ්ජුරුවන් ගේ පුතා….!”
අම්මා එහෙම කිව්වාට කොහොමද? අම්මලා හැම ළමයිට ම ඔහොම කියනවා…… ඇත්තට ම අම්මේ…. ඒක එහෙමනම් …. අපි කොහොමද ඔප්පු කරන්නේ….?”
එතකොට ඒ අම්මා ගේ ඇතුළට ගියා. පෙට්ටියක සඟවා තිබූ කුඩා රෙදි පොට්ටනියක් අරගෙන ආවා. මොකක්දෝ දෙයක් ඔතලා ඔතලා තියෙනවා. ඒ ඔතාපුවා එකිනෙක හෙමිහිට ලෙහෙව්වා. පුතා ඇස් විදහා බලා ඉන්නවා.
ෂා…. අම්මේමේ….! හරී ලස්සන මුද්දක්!
ඔව් පුතේමං මේක පණ වගේ පරිස්සම් කොරන්නේ. මේක තමයි එකම සාක්කිය. මේක පුතා පිළිසිඳ ගත්තු දවසේ රජ්ජුරුවන්නේ අතින් ම යි මට දුන්නේ…. පුතෙක් ලැබුනොත් මේ මුද්ද දීලා එවන්නත් කිව්වා
ඉතිං අම්මේඇයි මාව තාත්තා ළඟට යවන්නෙ නැත්තේ….. අනේ අම්මේ…. මාව එක්කරගෙන යන්ටකෝ….. අනේ!
දරුවාගෙන් බේරෙන්න බැහැ. ඈ දවසක් පුතාටත් ලස්සන ඇඳුමක් අන්දවාගෙන, මුද්දත් අරගෙන රාජමාලිගාවට ගියා. දොරටුපාලයාට මුද්ද පෙන්නලා රජතුමාව මුණ ගැහෙන්න ඕනා කියලා කිව්වා. රාජලාංඡනය සහිත මුද්දකුත් රැගෙන ගැහැණියකුයි කොලුවෙකුයි ඇවිත් ඉන්නවා කියලා රජුට සැලකළා. රජතුමා කැඳෙව්වා. අම්මයි පුතයි ගිහින් රජුට වන්දනා කළා.

දේවයන් වහන්ස, ඔබවහන්සේ වනාන්තරේ චාරිකා කරද්දී මං දර කඩමින් සිටිය අසරණ කෙල්ල…. එදා ඔබවහන්සේ මට මේ මුද්ද දීලා කිව්වා පුතෙක් ලැබුනොත් මේ මුද්ද දීලා මාලිගාවට එවාපන් කියලා….. දේවයන් වහන්ස,…. ඔබවහන්සේ නිසා මට ලැබුනු ඒ රත්තරන් පුතා තමයි මේ….”
රජතුමාට හැම දෙයක් ම මතක් වුනා. පිරිස මැද්දේ නිසා මේ ගැන කව්රුත් දැනගන්නවාට කැමති වුනේ නෑ. ලැජ්ජාවට පත් වුනා.
ම්…. මේ ස්ත‍්‍රිය ගේ…. කථාවමට….. මතකයේ…. නම්….. නෑ…. කොහොමත් මේ කොලුවා….. මගේ පුතා වෙන්නෙ කොහොමෙයි….”
එතකොට දේවයන් වහන්ස, මේ මුද්ද….. එදා මට ඔබවහන්සේ ගේ අතේ ඇඟිල්ලෙන් ගලවා දීපු මුද්ද…. මේ…..”
රජතුමා සේවකයෙකු ලවා මුද්ද ගෙන්නාගෙන බැලුවා. ආයෙමත් බොරුවට කල්පනාවට වැටුනා වගේ හිටියා.
ම්මෙහෙම මුද්දකුත් මට තිබුනේ නෑ නොවැ
එතකොට ඈ හඬන්න පටන් ගත්තා. බොරු කියල රාජ උදහසට පත්වෙන්නයි දැන් යන්නේ. ඈ හඬ හඬා මෙහෙම කිව්වා.
අහෝ…… දේවයන් වහන්ස…. දැන් මට සත්‍යක‍්‍රියා කරනවා හැර වෙන සාක්කියක් නම් නෑ. ඉදින් මේ මාගේ පුත් රුවන ඔබවහන්සේ නිසා උපන්නේ නම් මේ සිඟිත්තා අහසේ සිටීවා. එසේ නොවේ නම් දරුවා බිම වැටේවා!කියලා ඈ බෝධිසත්වයන් ගේ පාවලින් අල්ලා මහත් වැරින් උඩට වීසි කළා. පුදුමෙනුත් පුදුමයි! රජතුමාව නිකම්ම නැගිට්ටුනා. ඇමැතිවරුන්වත් සිටි තැනින් නැගිට්ටුනා. සිඟිත්තා අහසින් බිම වැටුනේ නෑ. අහසේම පළඟක් බැඳගත්තා. මිහිරි ස්වරයෙන් මෙහෙම කිව්වා.
මහරජතුමනි මම වෙමි ඔබෙ එක ම පුතු
ඇති දැඩි කළ මැනව මා සෙනෙහසින් යුතු
අන් දරුවන් හදන ඔබ නිති ගුණෙන් යුතු
කිම ඔබ බැහැර කරනුයෙ පුතු තමා සතු

එතකොට රජතුමා ගේ හදවතෙහි දරු සෙනෙහස උතුරා ගියා. එන්න මගේ රත්තරන් පුතේ…. මං ඔයාගේ තාත්තා…. මගේ පුතා එන්න….. මං හදාවඩා ගන්නම්කියලා රජතුමා දෑත් උඩට එසෙව්වා. එතකොට අත් දහසක් මතු වෙලා උඩට එසෙව්වා. එන්න පුතේ…. මගේ ළඟට එන්නකියල හැම තැනින් ම දෝංකාර දුන්නා.
එතකොට කුමාරයා රජතුමාගේ දෑතට ආවා. රජතුමා සිඟිත්තාව ඇකයේ තබාගෙන වාඩිවුනා. දරුවාගේ අම්මාට අගමෙහෙසි තනතුර ලැබුනා.
මහරජතුමනි….. පියරජු ගේ ඇවෑමෙන් බෝධිසත්වයන් කට්ඨවාහන රජු නමින් ප‍්‍රසිද්ධ වුනා…. ඒ කාලේ අම්මා වෙලා හිටියේ මහාමායා බිසොවයි. පියා වෙලා හිටියේ සුද්ධෝදන රජතුමා. පුත් කුමරා වෙලා හිටියේ මම යි
එතකොට කොසොල් රජුට හොඳට තේරුම් ගියා. ආයෙමත් වාසභඛත්තියාට අගමෙහෙසි තනතුර ලැබුනා. විඩූඩභට රාජකුමාර තනතුර ලැබුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Wednesday, December 2, 2015

පාත්ර ධාතුව


බුදුරජාණන් වහන්සේ දන් වැළඳීමට ගත් බඳුන පාත්ර ධාතුවනම් වේ. බුදුරදුන් තමන් වහන්සේ ගේ ජීවිත කාලය තුළ දී පාත්ර කිහිපයක් භාවිතා කර ඇති බව පෙනෙයි.
මහ බ...ෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර භාවිතා කළ මැටි පාත්රයක් ගැනත් රන් තලියක් ගැනත් ධර්ම සාහිත්යයේ සඳහන් වේ. මහ බෝසතුන් ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබාගත් දිනයෙහි ඝටීකාර බ්රහ්ම රාජයා බෝසතුන්ට අටපිරිකරක් පිදුවේය. ඒ තුළ වූයේ මැටි පාත්රයකි. මෙය උන් වහන්සේ පරිහරණය කළ මුල් ම පාත්රය යි. සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පරිභෝග කළේ ඝටීකාර බ්රහ්ම රාජයා පිදූ මේ මැටි පාත්රය යි. සිටුදියණිය කිරිපිඬු පූජා කරන කල්හි මේ මැටි පාත්රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.
මෙයට පසුව මහ බෝසතුන් දන් වැළඳූ බඳුනක් ගැන සඳහන් වන්නේ බෝසතුන් බුදුවීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී ය. එහි දී සුජාතා සිටුදියණිය මහ බෝසතුන්ට රන් තලියකින් කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !යි කියා අදිටන් කොට රන් තලිය ගඟට දැමුවේය. තලිය ක්රමයෙන් ගඟ මැදට ගියේය. ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං ගොස් නදියේ ගිලී ගියේය.
නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග රාජ භවනට ගියේය. මෙසේ අප බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්යප යන තුන් බුදුවරයන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කළ තලි තුන ද ඒ නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇත.
මෙයට පසුව නැවත වරක් පාත්ර ධාතුවක් ගැන සඳහන් වන්නේ බුදුරදුන් බුද්ධත්වයට පත්වී සත් වැනි සතිය අවසානයේ දී ය. බුදුහු බුද්ධත්වයට පත් වී සත් වැනි සතිය රාජායතනනම් වූ කිරිපලු රුකමුල වැඩ සිටි සේක. ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුරදුන්ට බැදපු සහල් පිටි හා මී පැණි යොදා කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූහ. බුදුරදුන්ට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවීය.
මේ බව දුටු සතරවරම් දෙව්රජ දරුවෝ ඉÁද්රනීල මාණික්ය පාත්ර සතරක් බුදුරදුන්ට පූජා කළහ. බුදුහු එය ප්රතික්ෂේප කළහ. ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවෝ ගල් පාත්ර සතරක් බුදුරදුන්ට පිළිගැන්වූහ. බුදුහු දෙව්රජ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගල් පාත්ර සතර පිළිගත්හ. පිළිගෙන ඒ පාත්ර සතර එකපිට එක තබා පාත්ර සතර එකක් වීමට අදිටන් කළසේක. එය එසේ ම විය. බුදුහු ඒ ගල් පාත්රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්රයෙනි. එබැවින් මේ පාත්ර ධාතුව මුළු මහත් බෞද්ධ ලෝකයාට ම ඉතා වැදගත් වෙයි.
බුදුරදුන් ගේ මේ පාත්ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්ර නුවර දී පාත්රමහනම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇත. මේ ගැන වැඩි විස්තර සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ කඤ්චනදේවී වස්තුව කියැවීමෙන් දත හැක.
ක්රි. ව. 5 වැනි සියවස වන විට මේ පාත්ර ධාතූන් වහන්සේ පකිස්ථානයේ පුරුෂ පුරයේ (පෙෂාවෝරයේ) අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව ෆාහියන් හිමියන් තම වාර්තාවේ සඳහන් කර ඇත. එසේ ම ඒ වාර්තාවේ පාත්ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු දැයි කියාත් සඳහන් කර ඇත. එය මෙසේයි.
බුදුන් වහන්සේ ගේ පාත්ර ධාතුව තිබෙන්නේත් පුරුෂ පුරයේ ය... මේ පාත්රයට බුසල් 1/4 ක ප්රමාණයේ ද්රව්ය දැරිය හැකි ය. එය විවිධ වර්ණයෙන් යුක්ත ය. එහෙත් කාල වර්ණය අවශිෂ්ට වර්ණයන් අබිබවා සිටී. පැහැදිලි ලෙස ම මේ පාත්රයේ ස්ථර 4ක් දැක්ක හැකිය. එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝන ය. එයින් තියුණු කාන්තියක් විහිදෙයි...
හියුං සියං හිමියන් ද මේ පාත්ර ධාතුව ගැන සඳහන් කරයි. හියුං සියං හිමියන් එහි ගියේ ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසුව ය. ඒ වන විට පාත්ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබූ අතර පාත්ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා (ඉරාන) දේශයේ රජතුමා ගේ මාලිගාවේ ය. ඒත් මේ වන විට ඒ පාත්ර ධාතූන් වහන්සේ කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි මහා ස්තූපයක නටබුන් දක්නට ඇත. මේ ස්තූපය තුළ බුදුරදුන් ගේ පාත්ර ධාතුවක් තැන්පත් ව ඇතැයි සැලකේ. මේ මහා ස්තූපයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.
සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ දැක්වේ. මධුරායං භගවතො පත්තොයනුවෙන් එහි සඳහන් කර තිබුණත් එයට වඩා විස්තරයක් දක්වා නැත. ධර්මාශෝක මහාධිරාජයා සතුව බුදුරදුන් ගේ පාත්ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක මහ රජු තමා සමීපයේ තිබූ බුදුරදුන් දන් වැළඳූ ඒ පාත්ර ධාතුන් වහන්සේත් එම පාත්ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට දුන්නේය. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූහ.
දේවානම්පියතිස්ස රජු සර්වඥ ධාතු නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවා පාත්ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වීය.
එතැන් පටන් පාත්ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන් ගේ මහත් වූ පුද සත්කාර ගෞරව ලබමින් ආරක්ෂා විය. මේ අතර වළගම්බා රජු සමයේ දී එක් සොළියෙක් සර්වඥ පාත්ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගියේය. ගජබා රජු (ක්රි. ව. 114 – 136) ඉන්දියාවට ගොස් පාත්ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවීය. මේ බව රාජාවලියේ දැක්වේ.
සිංහල රජ දරුවෝ දළදා වහන්සේත් පාත්ර ධාතූන් වහන්සේත් එක ම මැදුරක් තුළ ආරක්ෂිත ව තැන්පත් කර පුද පූජා පැවැත්වූහ. යමෙකුට ලංකාවේ රජ බවට පත්වීමට අවශ්ය නම් ඔහු හෝ ඇය සතුව මේ ශුද්ධ වස්තූන් දෙනම තිබිය යුතු යයි පිළිගැනීමක් විය.
බුද්ධදාස මහ රජුගේ දෙටු පුත්රයා වූ උපතිස්ස රජු (ක්රි. ව. 365 – 406) සමයේ දී ලංකාවේ දුර්භික්ෂයක් හා රෝග බියක් හට ගත්තේ ය. එකල්හි උපතිස්ස රජු භික්ෂු සංඝයා ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්ර්රතිමාවක් තනවා පාත්ර ධාතුවට පැන් පුරවා පැන් සහිත පාත්ර ධාතුව ප්රතිමාවේ දෝතෙහි තබා ඒ බුද්ධ ප්රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවීය.
පසුව රජු සිල් සමාදන් වී මහජනයා ද සීලයෙහි පිහිටුවා නුවර මැනවින් සරසවා භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහමගට බැස්සේ ය. භික්ෂු සංඝයා රතන සූත්රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කළහ. පසුදා හිරු නැඟෙන කල්හි මහ වැසි වැස්සේය. සියලු දුර්භික්ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. රටට සියලු යහපත උදා විය.
මෙයින් මහත් වූ සතුටට පැමිණි උපතිස්ස රජු අනාගතයේ ලක්දිව මෙවැනි දුර්භික්ෂයක් හා රෝග බියක් ඇති වුව හොත් මෙසේ ක්රි්රයා කරන්නැයි කියා නියෝගයක් ද කළේය. මේ කථා පුවත චූළවංශයේ දැක්වේ.
මෙසේ සිංහල රජ දරුවන් ගේ මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ සර්වඥ පාත්ර ධාතුන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක තැන්පත් ව ඇද්දැයි කියා නිශ්චිත ව කිව නොහැක. පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇති ස්ථානය ගැන විවිධ මත දක්නට ඇත.
දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැයි සැලකේ.
ඇතැම් ජනප්රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව අප ලොව්තුරා බුදුරදුන් දන් වැළඳූ පාත්ර ධාතූන් වහන්සේ තැන්පත් ව ඇත්තේ ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි. ප්රමාණයෙන් ඒ තරම් විශාල නොවන මේ ස්තූපය බෙලිගල දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටා ඇත.
බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සුප්පාරක පටුනේ (සොපාරාහි) තිබී එක් පුරාණ ස්තූපයක් හමු වී ඇත. මේ ස්තූපය ගෝතමීපුත්ර නමැති රජෙකු විසින් කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් සර්වඥ පාත්ර ධාතූන් වහන්සේ ගේ කැබලි කිහිපයක් ද තවත් බොහෝ අගනා පුරාවස්තු ද හමු වී ඇත.
අතිපූජ්ය හික්කඩුවේ ශශ්රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව මේ පාත්ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණි. එසේ ලැබුණු සර්වඥ භික්ෂා පාත්ර ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්රදර්ශනය කර ඇත. මේ වන විට එම පාත්ර ධාතූන් වහන්සේ හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන් වැඩ සිටි දෙමහල් මැදුරේ උඩ ඇති පාත්ර ධාතු මන්දිරයේ ආරක්ෂිත කරඬුවක් තුළ වැඩ සිටිති.
මේ භික්ෂා පාත්ර ධාතු කොටස ප්රමාණයෙන් අඟලකට වඩා විශාල නැත. අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පාත්ර ධාතුන් වහන්සේ බොහෝ කලකට පසුව 2007 වසරේ දී මෙන් ම මේ වසරේ දී ද වෙසක් පොහොය වෙනුවෙන් දින කිහිපයක් මහජනයා සඳහා ප්රදර්ශනය කළ අතර අතිවිශාල ජනකායක් ඉතා දුර්ලභ වූ මේ ශුද්ධ වස්තුව සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට විද්යොදය පිරිවෙණට පැමිණියහ.
මෙසේ බුදුරදුන් දන් වැළඳූ පාත්ර කිහිපයක් ගැන ධර්ම ග්රන්ථයන්හි සඳහන් ව තිබුණත් ලංකාවාසීන් වන අපට දැනට සියැසින් දැක බලා ගෙන වන්දනා කිරීමට ඇති පාත්ර ධාතූන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්යොදය පිරිවෙණේ වැඩ සිටින මේ පාත්ර ධාතූන් වහන්සේය.

Source Internet 


Mahamegha

Total Pageviews