Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 30, 2014

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ බුද්ධ ශුන්‍ය කල්පවශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ මහාභද්‍ර කල්පයවශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි
ඒභාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන මේ සුපින්බර වෙසෙ‍ෙග් උන්වහන්සේගේ පමණ නොකළ හැකි ගුණකදම්බයෙන් මදක් විමසමු.
වරින්වර අසිරිමත් මිනිස්සු ලොව පහළ වෙති. මහරහතන් වහන්සේලාගේ පහළ වීම ද අයත් වන්නේ අසිරිමත් මිනිසුන්ගේ ගණයටයි. නමුත් උන්වහන්සේලා සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෝ වෙති. සම්බුදු රජෙකුගේ පහළවීමට කලින් පහළවන තවත් උතුම් පිරිසක් සිටිත්. උන්වහන්සේලා හඳුන්වන්නේ පසේබුදුවරුන්නමිනි. සම්මා සම්බුදුවරු යනු මීට හාත්පසින්ම වෙනස් ආශ්චර්යවත් අද්භූත ගතිගුණයෙන් යුතු මුනිවරයෝ ය.
සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ බුද්ධ ශුන්‍ය කල්පවශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ මහාභද්‍ර කල්පයවශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි.
මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතලිස් දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස්දහසකි. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහස වනවිට කාශ්‍යප බුදුරදුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්සට බැස්සේය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්බුදුරදුන්ගේ පහළවීම සිදුවිය.
ගෞතම බුදුරදුන්ගේ ගේ ශාසනය තුළ මිනිසුන්ගේ ආයුෂ වසර දහයක් දක්වා පිරිහී ගිය කළ ලෝක යුද්ධයක් හටගනී. ආයුධ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවි ගලවා ගන්නෝ ඉතා අතලොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැරකොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වනු ඇත. මිනිස් ආයුෂ වසර අසූදහසක් වූ කල්හි මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුරජුන් වන මෛත්‍රී සම්බුදු රජුන්ගේ පහළ වීම සිදුවේ. සැබැවින්ම එකම කල්පයකදී සම්මා සම්බුදුවරුන් පස්නමක් පහළවීම ඉතා අසිරිමත් නොවේ ද?
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේලා අසමවන සේක. සමාන වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම බැවින් සමවන සේක.
ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේ ලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුත්‍රයෙහි අප භාගවතාණන් වහන්සේ මෙසේ වදාරණ සේක.
පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මෙසේ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්තන තුනකින් යුතුව යථාභූත ඤාණ දර්ශනය මා හට අවබෝධ වූයේ වේද.
එකල්හි පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මාහට ඤාණ දර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ය.
මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලා තුළ ඇතිවන්නේ බාහිරෙන් ලත් ශ්‍රමණයෙකින් තොරවය.
පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය’’ වශයෙන් උදන් අනන්නේ ඒ නිසාය.
පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හි දෙවි බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.
ඉන්පසු ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. එම කාලය යනු මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නොවිය යුතුය. අවුරුදු සියයට අඩු නොවිය යුතුය. අප බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව උපදින විට මිනිසුන්ගේ් පරම ආයුෂ වයස එකසිය විස්සක් ව පැවතිණ. ද්වීපය යනු ජම්බුද්වීපයයි. දඹදිවෙන් බැහැරව වෙනත් කිසි ද්වීපයක සම්මා සම්බුදුවරු පහළ නොවෙති. දේශය යනු බුදුවරු පහළ වීමට අදාළ ප්‍රදේශයයි. එනම් ජම්බුද්වීපයෙහි උතුරු දෙසට නැඹුරු වූ ඊසාන දිග ප්‍රදේශය කුලය යනු බුදුවරයෙකු පහළ වන පවුල් පසුබිමයි. සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේ ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ ගෞතම ගෝත්‍රයට අයත් ඔක්කාක රාජ වංශය වන ක්ෂත්‍රිය කුලයේය. මව් යනු එකල ලොව සිටි ඉතා සිල්වත් මාතාවය. එමෙන්ම ඕ තොමෝ දස මසක් මව්කුස දරු සම්පත දරා සිටි දරුවා බිහිකළ කල්හි සත් දිනකට ආයුෂ ඇති තැනැත්තියක් විය යුතු වන්නීය. මේ සියල්ල සම්පූර්ණ වී තිබීම පිළිබඳව සොයා බැලීම පස්මහ බැලුම් බැලීමයි.
ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවින් චුතවෙති. මනා සිහිනුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන්ම මනා සිහිනුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.
සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ බුද්ධ ශුන්‍ය කල්පවශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ මහාභද්‍ර කල්පයවශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි. උන්වහන්සේලා පිළිබඳව කළ සාකච්ඡාවේ ඉතිරි කොටස මෙතැන් සිට.
මහබෝසත්වරු බිහිවන මොහොතේ උණුසුමින් හා සිසිලසින් යුතු දිය දහර දෙකක් පොළොවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙයද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.
ඒ මහබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩමකොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.
මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මෙය අවසාන උපතයිදැන් මා හට පුනර්භවයක් නැත්තේ ය
කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.
සියලු මහබෝසත්වරුන් දෙතිස් මහාපුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳ බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර පෙර නිමිති දැකීමෙනි.
සියලු මහබෝසත්වරු දුෂ්කර ක්‍රියා කෙරෙති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගි අන්තයත්, අත්තකිලමථානුයෝගි අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩති.
මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරූපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසින්ය.
සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණකදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිද සේනා සහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේදී සෙවණ ලබාදුන්නේ ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේය. මෙසේ බෝ සෙවණකදීම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.
ඒ සම්මා සම්බුදුවරු කවරහුදැයි හඳුනා ගැනීමට දෙවියන් සහිත ලෝකයා හට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහා ගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන්හි දී උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයා හට අප බුදුරජුන් තමන් වහන්සේ ගැන පැවසූ ආකාරය මොනතරම් අසිරිමත්ද!
සේලය මම් වනාහි රජෙක් වෙමි. අන්තර වූ ධර්ම රාජයෙක් වෙමි ලොවෙහි අන් කෙනෙකුට පැවැත්විය නොහැකි ආඥාචක්‍රය මම ධර්මයෙන් ආඥාව පවත්වමි.
මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය මම වනාහි බුද්ධවෙමි.
බ්‍රාහ්මණය මාගේ සම්බුද්ධත්වය කෙරෙහි ඇති සැකය දුරලව. එය සත්‍යයක් බවට ශ්‍රද්ධාවට පැමිණෙව. සම්බුදුරජාණන් වහන්සේලා නිතර දැක්ම අතිශයින්ම දුර්ලභ වේ.
බ්‍රාහ්මණය ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ සෙයකි. බ්‍රාහ්මණය මම් වනාහි රාගාදි ක්ලේශ මුල් දෙව්මිනිස් හදවත් තුලින් ඉවත් කරනු ලබන අනුත්තර වූ සම්බුද්ධනම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.
ශ්‍රේෂ්ඨත්වයට පත්ව අසම බවට පත්ව, සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නොබියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් කේශර සිංහයෙකු මෙන් අභීත හඬ පතුරුවමි’.
මෙසේ බලන කල්හි ලොව වෙනත් පසේබුදු හෝ රහතන් වහන්සේ නමක සමඟ හෝ සසඳාලිය නොහැකි ය. එමෙන්ම වෙනත් දිව්‍ය මනුෂ්‍ය, ගාන්ධර්ව ආදි සත්ව කෙනෙකුන් සමඟ හෝ සසඳාලිය නොහැකි ය. උන්වහන්සේලාගේ ස්වභාවය ඒකාන්තයෙන්ම ආශ්චර්යය වේ.
එමෙන්ම අප බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහි වැඩසිට තමන් වහන්සේට ද ගුරුවරයෙකු අවශ්‍ය යැයි කල්පනා කළ සේක. තමන් වහන්සේ තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ
වීම පිණිසත් ,උපදේශ ගත හැකි කෙනෙක් දෙවියන් සහිත බඹුන් සහිත ලොව සිටිත් දැයි විමසා බැලූ සේක. එවිට උන්වහන්සේට වැටැහී ගියේ තමන් වහන්සේ හා සමාන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ කෙනෙකු ලොව නැති බවයි. එනිසා ඒ සීලාදී ගුණධර්මයන් තමන් වහන්සේ තුළ ඉපිද වූ ධර්මයම ගුරු තනතුරේ තබා ගත් සේක. එකෙණෙහි සහම්පති බ්‍රහ්මයා පෙනී සිටිමින් මෙසේ පැවසීය.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මය ගුරුතන්හි තබා ගත් සේක. අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ධර්මයම ගුරුතන්හි තබා ගන්නා සේක. ඒ අයුරින්ම වර්තමානයෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන ඔබවහන්සේ ද ධර්මයම ගුරු තනතුරෙහි තබාගත් සේක.
මෙසේ ලොවෙහි අන් පුද්ගලයන් හා අසම වූ සම්මා සම්බුදුවරයන් හා සම වූ අසමසම ගුණැති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
තෙරුවන් සරණයි!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!


Monday, December 15, 2014

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙතියි වදාළ සේක.
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙතියි වදාළ සේක.
තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුයයි කීය.
එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.
ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.
ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”
ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකියි කීය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැයි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.

[[අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.]]

Mahamewnawa

Mahamewnawa


Mahamewnawa

Mahamewnawa


Thursday, December 11, 2014

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස














බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.
සතර අපායට පත් නොවීම
නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
නිහතමානී ගති පැවතුම් ඇතිවීම
ලෝකයාට ප්‍රියමනාප වීම
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
පාපයට ලැජ්ජ භය වීම
අධි කුසලයට සිත නැඹුරු වීම
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
ගුණ, නුවණින් පිරිපුන් වීම
පිටසක්වල නූපදීම
අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
උන්මන්තක නොවීම
මිසිදිටු නොගැන්වීම
මරණයට නොබියව මුහුණදීම
මුහුණෙ වර්ණය පැහැපත්වීම
වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
බුදුබව පවා පැතීමට සිත නැමීම
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
සම්මා දිට්ඨියෙහි පිහිටීම
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
නපුරු සිහින නොපෙනීම
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම
== බුදුගුණ භාවනාව වඩන හැටි ==
බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.
පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමියන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමියනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ඉතිපිසෝ භගවා අරහංආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමියි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.


Mahamegha

Total Pageviews