Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 24, 2015

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ උන්වහන්සේට ඇප උපස්ථාන කළ දායකවරු බොහෝ වූහ. ඔවුන් අතර අනේපිඬු සිටිතුමාට සුවිශේෂ තැනක් හිමිවේ. සිටු තනතුරක් දැරූ නිසාම ධනය නොමඳව පැවැති එතුමා තුළ බුදුරදුන් කෙරෙහි පැවැති අසීමිත ශ්‍රද්ධා භක්තිය ද එසේම විය. විශාල මිළ මුදලක් විය පැහැදම් කොට ජේතවනාරාමය නම් වූ සුවිසල් මහ වෙහෙර බුදුරදුන්ට පූජා කරනු ලැබූයේ අනේපිඬු සිටුතුමාය.
ආරාමයක් සාදවා පූජා කළා පමණක් නොව සිය මාලිගයෙහි හැමදාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් දානය ද පිරිනැමුයේය.
අනේපිඩු සිටුතුමාගේ නිවස පන්සලක දාන ශාලාවක් මෙන් විය. හැමදාම භික්‍ෂූන් වහන්සේලාට දන් දීමට තරම් හරිහම්භ කරගත් ධනයක් ද එතුමා සතු විය. භික්‍ෂූන් වහන්සේලා ද නොමඳව එම නිවසට වැඩම කළහ. එමෙන්ම සැවැත් නුවර වැසියන්ගේ ද අදහස් අනුව නගරයේ තැන් තැන්වල ද දන්හල් ඉදිකොට දන් දෙන්නට පුරුදුව සිටියේය. සිය මාලිගයේ මහා සංඝරත්නය විෂයෙහි දන් පිළිගැන්වීම පිළිබඳවත් නගරයේ තැන් තැන්වල ඉදිකොට ඇති ශාලාවල දන්දීම පිළිබඳවත් වෙනත් රාජකාරීත් නිසා සිටුතුමාට බොහෝ අවිවේකී ස්වභාවයක් තිබිණි. එනිසාම සිටු මැදුරෙහි දන් බෙදීම් පිළිබඳව විමසා බැලීමට සහ ආවතේව කිරීමට සිටුතුමා විසින් සිය දූවරුන් තිදෙනාට බාර දුන්නේය.
මහා සුභද්‍ර, චුල්ල සුභද්‍ර, සුමනාදේවි යනුවෙන් දූවරුන් තිදෙනා භික්‍ෂූන් වහන්සේලාට දන් පහන් පූජා කිරීම භාරව කටයුතු කළාය. දන් පූජාකොට උන්වහන්සේලාගෙන් බණ දහම් ද අසා දැන උගෙන ගත් මහා සුභද්‍ර සහ චුල්ල සුභද්‍ර දෙදෙනා සෝවාන් වූවාය. බාල නැගණිය වූ සුමනා දේවි සකෘදාගාමී තත්වයට පත්වූවාය. ගුණ දහමෙහි මෙන්ම බණ දහමෙහි ද ආර්ය මාර්‍ගයෙහි ද පිළිවෙත් පිරූ මේ තිදෙනා ලබා සිටි අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව ඔවුන් විනා වෙනත් කිසිවකු දැන සිටියේ නැත. අද මෙන් එදා තමන් ආර්ය මාර්‍ගයට පත්වී ඇතැයි අන් අය සමඟ ප්‍රකාශ කරන තත්ත්වයක් එදා තිබුණේ නැත. එසේම යම්කිසි කෙනෙක් ආර්ය මාර්‍ගයේ අධිතම තත්ත්වයන් ලබාගත්ත ද ඒවා අනෙක් අයට වචනයෙන් ප්‍රකාශ කිරීමට හෝ ඇඟවීමට කටයුතු කිරීම හෝ වෙන අය ලවා කියවීම හෝ සිදු කිරීම බරපතළ වරදක් ලෙස බුදු සමය දක්වා තිබේ. තමා තුළ උතුම් අධ්‍යාත්මික ගුණ පවතින්නේ නම් ඒ අනුව කටයුතු කිරීම වැදගත් වුවද අන් අයට ප්‍රකාශ කරන්නට යාම පහත් ගතියකි.
අනේපිඬු සිටුතුමාගේ බාල දුවනිය වූ සුමණාදේවී හිටිහැටියේම අසනීප තත්ත්වයට පත් වූවාය. ඇයගේ රෝගී තත්ත්වය බලවත් වූයෙන් මරණාසන්න තත්වයටද පත් වූවාය. එක් දවසක් එම අවස්ථාවේ සිය දුවනිය පිළිබඳව දුක්මුසුව ඇය බැලීමට පැමිණි අනේපිඬු සිටුතුමා සුමනා දේවිය අමතා අසනීප ගැන තොරතුරු විචාළේය. එම අවස්ථාවේදී සුමනා දේවිය බාල මලණුවනි, අපහසුවක් නැතැයි යනුවෙන් සිය පියාණන්ට කීවේ තමා තාත්තා බව සුමනා දේවියට අමතක වූයේ ඇය මරණාසන්න සමයේ විකල් මානසික තත්ත්වයක පසුවන නිසා යැයි කල්පනා කළ අනේපිඬු සිටුතුමා ඇයි දුවනියේ මම තාත්තා බව මතක නැත්දැයි නැවතත් ඇයගෙන් විමසා සිටියේය. ඇයි මතක නැත්තෙ බාල මලණුවනි, යනුවෙන් සුමනා දේවිය සිය පියාණන්ට බාල මලණුවනියනුවෙන් නැවතත් ඇමතුවාය. ඇය තෙවරක්ම එසේ කතා කොට කලුරිය කළාය.
අනේපිඬු සිටුතුමා බෙහෙවින් දුක් විය. තමන් මේ තරම්ම පිනට දහමට නැඹුරුව කටයුතු කරද්දිත් තම දුවනිය බේරා ගැනීමට ආගම දහමෙන් වත් පිහිටක් ලැබුණේ නැහැ නේදැයි සිටුතුමා කල්පනා කරන්නට විය. සිතේ කණස්සල්ලෙන්ම සිටුතුමා බුදුරජාණන් වහන්සේ දැක හිතේ ශෝකය නැතිකර ගැනීමේ අදහසින් දෙව්රම් වෙහෙර බලා ගියේය. බුදුරජාණන් වහන්සේ ළඟ වැද වැටුණු සිටුතුමා හිතේ දුක තුනී වෙනතුරු නිහඬව සිට තම දුවනිය වූ සුමනා දේවිය කලුරිය කළ බව බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නේය.
බුදුහාමුදුරුවනේ, මගේ දුව මොන තරම් පින් දහම් කළාද, ඇයත් අනෙක් සහෝදරියන් සමග සිටුමැදුරේ දාන ශාලාව බාරව කටයුතු කළාය. එතරම් පින්දහම් කළ ඇයත් අඩු වයසින් කලුරිය කළා. ඇය කලුරිය කරන අවස්ථාවේ සිටියේ විකල් මනසින් ඇයට මාව කවුදැයි කියාවත් හරියට දැන අඳුනගන්න බැරි වුනා. ඇය මට කතා කළේ මල්ලි කියලා. නැවත මා එය නිවරැදි කර දුන් පසුත් ඇය මට මලණුවනියනුවෙන් ඇමතුවා තුන් වතාවක් එහෙම කිවුවා. මම ඒකෙනුයි තේරුම් ගත්තේ ඇය කලුරිය කරන අවස්ථාවේ විකල් මානසිකත්වයෙන් සිටි බව මෙච්චර පින්දහම් කළ අයටත් එහෙමත් වෙනවා නේද බුදු හාමුදුරුවනේ.
සිදුවු සිද්ධිය නිවැරදිව දත් බුදුහාමුදුරුවෝ අනේ පිඬු සිටුතුමා අමතා මෙසේ වදාළහ. සිටුතුමනි, ඔබ හිතන හැටි වැරදියි. කෙනෙක් අරගෙන ආපු ආයුෂ ප්‍රමාණය අවසන් වුනාම ඔහු මරණයට පත් වෙනවා. ඒක ඇත්ත වුනත් ඔබ ඔබේ දුවනිය විකල් මනසින් කලුරිය කළාය. කියා කියන කාරණය නිවැරැදි නැහැ. ඔබ දන්නේ නැති වුනාට ඇය ආර්ය මාර්‍ගයේ ගොඩක් දුර ගමන් කළ උතුම් තැනැත්තියක්. ඔබතුමා දැනට සෝවාන් තත්ත්වයට පත්වී තබෙනවා. නමුත් සුමනා දේවිය ඊට වඩා එහා ගිය කෙනෙක්. ඇය සකෘදාගාමි තත්ත්වයට පත් වෙළයි හිටියේ. ඔබ ගැන සිතන්නේ මල්ලි කෙනෙක් වගේ. ඔබ සෝවාන්. දුව සකෘදාගාමී. ඇය කලුරිය කළේ විකල් මනසින් නොවේ. හොඳ සිහියෙන් ජීවත්වෙලා ඉන්න කාලය පුරා හොඳ වැඩ කළ නිසා අවබෝධ පූර්වකව සමාජයේ ජීවත් වුන නිසා සකෘදාගාමී තත්ත්වයට පත්වී මෙලොවින් චුත වුන ඇය දැන් උපත ලබා තිබෙන්නේ දිව්‍ය ලෝකවලින් සැප සම්පත් වැඩිම දෙව්ලොව හැටියට සැලකෙන තුසිත විමානයේ දිව්‍යාංගනාවක් ලෙස.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසූ අනේපිඬු සිටුතුමාගේ සිත පතුළේ කකියන ශෝකය අතරින් සිහිල් සැනසුම් සුසුමක් පිට විය. හොඳින් ජීවත් වුනු අයට කවදාවත් වරදින්නේ නැහැ නේද යැයි ඉබේම සිටුතුමාගේ මුවින් පිටවිය.
තෙරුවන් සරණයි!
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
ධර්ම දානය : Path to Nirvana



Tuesday, January 20, 2015

මුනිවත රකින්නට පෙර...

මුනිවත රකින්නට පෙර...
 us @ 
Mahamegha :::: මහාමේඝ
කොහෙත්ම කථා නොකර සිටින විට හරි, බොහෝ කථා ඇති තැනක ඉතාමත් ම අල්ප වශයෙන් පමණක් කථා බස් කරන විට හරි එ් චර්යා ධර්මය හඳුන්වන්න භාවිත කෙරෙන වචනය තමයි මුනිවතකියන්නේ... මුනිවත අපට නුහුරු නුපුරුදු නො වුණට, ‘නිහඬව සිටීමඅරුත් ගන්වන්නට මේ වචනය යොදා ගැනීමේ ආරම්භය ගැන අප බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ වචනය පාරිභාෂික වාග් මාලාවට එකතු වීමේ නිදාන කථාව අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමනාව වැඩ සිටි කාලයට ම දිව යනවා...
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශාසනික ඇවතුම් - පැවතුම්, ශික්ෂා පද ආදි සම්මතයන් පැනවුණේ සුදුසු කල් යල් එළඹියාට පසුව බව අප කවුරුත් දන්නවා. දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි පැතිරී තිබුණු දඹදිව මේ අසහාය ධර්ම සම්ප‍්‍රදාය ව්‍යාප්ත වන විට පිනැති - නැණැති මිනිසුන් බොහෝ ම ආදර ගෞරවයෙන් සම්බුදු දහම තම තමන්ගේ ජීවන සම්ප‍්‍රදාය බවට පත් කර ගත්තා. ඔවුන් විසින් අනෙක් සියලූ ධර්මයන් අතරින් සුවිශේෂී කොට දකින්නට යෙදුණු මේ දහමට බොහෝ සත්කාර ලැබෙන්න, ලැබෙන්න අන්‍ය ධර්මයන් සත්කාරයන්ගෙන් පිරිහුණා. ලාභ සත්කාරයන්ගෙන් පිරිහුණු එ් අන්‍ය තීර්ථකයන් සෑම විට ම උත්සාහ කළේ සම්බුද්ධ ශාසනයේ අඩුලූහුඬුකමක් දක්වා තමන් වෙත ජනතා ආකර්ෂණය යොමු කර ගන්නටයි. එ් වගේ ම, ගම්භීර ධර්මය අවබෝධ කර ගන්නට තරම් මෝරා ගිය ප‍්‍රඥවක් නො තිබුණු ජනතාව කළේ සෑම විට ම ගෞතම සම්බුදු සසුනේ ශ‍්‍රමණයන් වහන්සේලා සහ අන්‍ය තීර්ථකයන් සසඳා බැලීමයි...
අන්‍ය තීර්ථක පිරිස් තමන්ට දන් පැන් ලැබෙන විට එ් දන් පැන් පුදන ජනයාට භව බෝග සම්පත්, ධන ධාන්‍යය, ආයුෂ, සැප ලැබේවා ආදි වශයෙන් සෙත් පැතීම් සිදු කරනවා. තමන්ට ආශීර්වාදාත්මකව කියන මේ සෙත් පැතීම්වලට බොහෝ ජනයාත් ප‍්‍රිය වුණා. සම්බුද්ධ ශාසනයේ ආරම්භක අවධියේ දන් පැන් පිළිගෙන පුණ්‍යානුමෝදනා කිරීම්, දහම් දෙසීම් සිදු කෙරුණේ නෑ. එ් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා කවුරුන් හෝ විසින් විමසනු ලැබුවහොත් පමණක් ධර්මය දේශනා කළා.
එක් දවසක ජනයා විසින් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලාට දන් පැන් පිළිගන්වන්නට යෙදුණා. දන් පිළිගත් උන් වහන්සේලා නිහඬව ම ආපසු ගමනට පිටත් වුණා. එ් මොහොතේ නොසන්සුන් වූ ජනයා දෝෂාරෝපණය කරන්නට වුණා.
‘‘අනේ මුන් වහන්සේලා අපට කිසිවක් කියා සෙත් පැතුවේ නැහැ නෙව. තීර්ථකයෝ නම් මෙහෙම නැහැ. අපට කොතරම් ආශීර්වාද කරනවා ද? මුන් වහන්සේලා දානේ අරගෙන නිහඬව ම ගියා නෙව...
පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කාරණය සම්බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට උන් වහන්සේ ශාසනයේ අභිවෘද්ධිය පිරිසිඳ දකිමින් දන් වළඳා අවසන දහම් දෙසීම්, පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම් අනුදැන වදාළා. එ් ආකාරයෙනුයි අද දක්වා ම පැවත එන පරිදි දන් පිළිගැනීමෙන් පසු තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා අනුමෝදනා දහම් දෙසීම සිදු කිරීම ඇරඹුණේ.
ගෞතම සම්මා සම්බුදු සසුනේ මුල් කාලයේ පැවිදි භාවය ලැබූ බොහෝ ශ‍්‍රාවකයන් වහන්සේලා කෙටි කලකින් ම සියලූ කෙලෙසුන් නසා අරහත්වයට පත් වූවා. ඛීණාස‍්‍රව වූ එ් උතුම් රහතන් වහන්සේලාගේ මුවින් අසිරිමත් දම් දෙසුම් සිදු කෙරෙන විට, උතුම් ශ්‍රී මුඛ භාෂිත බුද්ධ වචනය ම ඉස්මතු කෙරෙන විට එ් අමා දම් ඔසු වැළª දෙව් මිනිස් ලෝකයා අප‍්‍රමාණ සතුටට පත් වුණා. ධර්මය ම විවෘතව බබළද්දි, එ් උත්තම දහම් සේවනයෙන් තම තමන් වහන්සේලා සදාතනික ව සුවපත් වූ ආකාරය හෙළි වෙද්දී එ් සද්ධර්ම ආනුභාවයන් ගැන දෙව් මිනිසුන් අපමණ ප‍්‍රසාදයට පත් වුණා. එ් පැහැදීම නිසාවෙන් ම තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා උදෙසා දන් පිළිගැන්වීම්, දාන ආරාධනාවන් බහුල වුණා.
එවිට තීර්ථක පිරිස්වල ප‍්‍රත්‍යලාභයන් පිරිහුණා. මේ පිරිහීමට හේතු වූයේ තථාගත ශ‍්‍රාවක පිරිස් දන් පැන් පිළිගැනීමෙන් පසුව දහම් දෙසීම බව තේරුම් ගත් තීර්ථකයෝ එයට ගරහන්නට පටන් ගත්තා.
‘‘
ශ‍්‍රමණ ගෞතමයන්ගේ ශ‍්‍රාවකයෝ මොකද මේ ඝෝෂා කරන්නේ? මොනවද ඔය කියවන්නේ? දානේ වැළඳුවා නම් එතැනින් යන එක නෙව තියෙන්නේ... තව මොකට ද කියව කියව ඉන්නේ?
අනේ අපි නම් ඔය වගේ නැහැ නෙව... අපි සැබෑම මුනිවරු... මුනි දහම කියන්නේ නිහඬව සිටීමයි. අපි එ් මුනි දහම රකින උදවිය නෙව. අපි නම් නැහැ ඔහොම කෑ ගගහ යන්නේ. කවුරු කවුරුත් මේක තේරුම් ගන්න ඕනේ....
ඔන්න ඔය විදිහටයි මුනිවතකියන්නේ නිහඬව සිටීමකියා අර්ථයක් එක් වුණේ. ඇත්තට ම එ් වචනය තීර්ථකයන් විසින් තමන් හැසිරෙන චර්යාව හඳුන්වා දෙන්නට භාවිත කරන ලද්දක්.
මේ අරුත්සුන් අර්ථ දැක්වීම ඇසූ, තුන් ලොවට ම මහා මුනි වූ අපගේ සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ වදාළා.
‘‘පින්වත් මහණෙනි, නිශ්ශබ්දව සිටීමෙන් මුනිවරයෙක් වෙන්නේ නෑ. කෙනෙක් නොදන්නාකමටත් කථා නොකර ඉන්න පුළුවනි. කෙනෙක් අවියත් බව නිසාත් කථා නොකර ඉන්න පුළුවනි. කෙනෙක් තමන් දන්නා දේ තව කෙනෙක් දැන ගනීවි කියන මසුරුකම නිසාත් කථා නොකර ඉන්න පුළුවනි.
මුනිවරයා කියන්නේ එබඳු කෙනෙක් නොවෙයි... යම් කෙනෙක් හොඳින් අකුසල් කිරා මැන අකුසල් බැහැර කරනවා නම්, කුසල් වැඩි දියුණු කර ගන්නවා නම්, පව් සන්සිඳවනවා නම් අන්න එ් කෙනාටයි මුනිවරයා කියන්නේ...
එ් තමයි ආර්ය වූ මුනිවත. මුනිවත රකිනවාකියා කථා බස් නොකර සිටින තීර්ථක පිරිස් දඹදිව තවමත් සිටිනවා. අප අතරත් එවැනි පිරිස් සිටිනවා නේ ද? ඉතින්, මුනිවත රකින්නට පෙර, අප එ් රකින්නේ තීර්ථක අනාර්ය මුනිවත ද නැති නම් ආර්ය මුනිවත ද යන්න ගැන සිහි නුවණින් සිතා බැලිය යුතු ම වෙනවා..
ආර්ය වූ මුනිවත රකිනා මුනිවර දැහැනක අසිරිය අප සිත් සතන්වලට ද දැනේවා!!!
***************************************
උපදින කෙලෙස් නසනා - යළි නොමසදනා
යළි කිසි කෙලෙස් හට ගන්නට-ඉඩ නො දෙනා
සලකති එබඳු උතුමන් - මුනිවරුලෙසිනා
ඉසිවරයෙකි හෙතෙම ලොව - නිවන ම දකිනා
පවතින සියලූ ජීවිත ගැන හඳුනගෙන
එ් ජීවිතවලින් කිසිවක් නො පතමින
ගිජු බව අතහැරිය කිසිවක ගිජු නොවන
රැුස් නොමකරති මුනිවරුපරතෙර වඩින
හැම දෙය දිනුව හැම දෙස ඇති තතු දකින
නුවණැති හෙතෙම කිසි තැනකට නොම ඇලූන
හැම දෙය අතහැරිය කෙලෙසුන්ගෙන් මිදුන
නුවණැති දනෝ ඔහු හඳුනති මුනිලෙසින
වැටහෙන නුවණ බල ඇති සිල් ගුණය ඇති එකඟ ව සිත ද ඇලෙන දැහැනේ සිහිය ඇති දුරු කොට කෙලෙස් හුල් පිරිසිදු සිත පැවති මොහු හට නැණැති අය මුනිවරයාකියති
දහමේ පිහිටි නො සැලෙන ඇද ගති නැතිව
වරදක නො බැඳෙමින් පව් පිළිකෙව් කෙරුව
හොඳ හා නරක විමසන නිති නුවණැතිව
හඳුනාගනිති මුනිවරයෙකුලෙස මොහු ව
දැනගෙන ලොවේ පවතින ඇති තතු දකිනා
සිඳ සැඩ සමුදුර ද එතෙරට යන පිහිනා
දුරු කොට කෙලෙස් හැම භව ගැට සිඳ දමනා
මොහු ගැන නැණැති දන හඳුනති මුනිලෙසිනා
(සුත්ත නිපාතයේ මුනි සූත‍්‍රයෙනි.,)
ඇසුර - අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 19’, ‘අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති’.
සටහන
කලණ ගංගානාථ
සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/mahamegha-today/muniwatha-rakinnata-pera


Saturday, January 17, 2015

පෙර "කර්මය"

වාර්තාවන පිළිකා රෝගී තත්වයන් වලින් 2/3කටම හේතු වන්නේ ෙසෙල බෙදීමේදී සිදුවන ජාන විකෘතිවීම් බව ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ජාන ප‍්‍රවේණිය, ආහාර හෝ ජීවන විලාසය ආදිය මෙයට බලනොපාන බවයි.
කෙසේවෙතත් පිළිකාවලින් ඉතිරි 1/3ක කොටස පාරිසරික තත්වයන් හෝ ප‍්‍රවේණිකව උරුම වන විකෘති ජාන නිසා හටගන්නා බව සයන්ස් වෛද්‍ය ජර්නලයේ පළ කර ඇති වාර්තාවේ දක්වා ඇත.
නමුත් අයහපත් ජීවන විලාසය පිළිකා සඳහා බලපාන අවාසනාව වැඩිකරන සාධකයක් විය හැකි බව ජෝන් හොප්කින්ස් විද්‍යාඥයින්ගේ අදහසයි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බර්ට් වොගල්ස්ටයින් පවසා ඇත්තේ සියලූම පිළිකා 1. අවාසනාව, 2. පරිසර සාධක හා 3. ආවේණිය යන හේතුවල එකතුවකින් ඇතිවන බවයි.
තම කණ්ඩායම සිදුකර ඇත්තේ එම සාධක ත‍්‍රිත්වය පිළිකාවක් වර්ධනය වීමේදී බලපාන මට්ටම පිළිබඳ දර්ශකයක් නිර්මාණය කිරීම බවද ඔහු පවසා තිබේ.
දුම්බීම හෝ වෙනත් අයහපත් පුරුදු වලින් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බව පර්යේෂණයෙන් තහවුරු වන බවත් ශල්‍යකර්මයකින් සුව කළ හැකි තරමේ පවතින විට පිළිකාව කලින් සොයාගැනීම මෙයට ඇති හොඳම විසඳුම බවත් වොල්ගන්ස්ටයින් පවසා ඇතැයි වාර්තා වේ.
“All cancers are caused by a combination of bad luck, the environment and heredity, and we’ve created a model that may help quantify how much of these three factors contribute to cancer development,” 
Says Prof. Bert Vogelstein, the Clayton professor of oncology at the Johns Hopkins University school of medicine
1. අවාසනාව යනු කුමක්දැයි යන්නට පිළිතුරක් බටහිර විද්‍යාවේ නැත. එය පැහැදිළි කරන්නේ බුදු දහමෙනි. එනම් පෙර "කර්මය" යි.
2.පරිසර සාධක සහ 3.ආවේනිය යන ඉතිරි පිළිකා හේතු දෙක බුදු දහමේ නියාම ධර්මයන්හි "උතු" , "බීජ" යන ධර්මතා දෙකෙන් විග්‍රහ වෙයි. එසේම අනිත් නියාම ධර්මතා දෙක වන "චිත්ත" සහ "ධම්ම" නියාමයන්, ද්විකෝටික යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ බටහිර විද්‍යාඥයින්ට තවමත් හිතා ගන්නවත් නොහැකි වී තිබීම පුදුමයක් නොවේ.
චූල කම්ම විභංග සූත්‍රයේ පහත පරිදි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේ නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.´´
´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූඋපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මෙ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි´´


Saturday, January 3, 2015

Mahamegha 2015 Calender

Mahamegha 2015 Calender

you can download and print or use as a wallpaper.

බුද්ධානුස්සති භාවනාව පුරුදු කරමු

බුද්ධානුස්සති භාවනාව පුරුදු කරමු


 us @ Mahamegha ::::
මහාමේඝ
සියල් ලෝකයන්හි සියල් සත්වයන් අතර සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් අග‍්‍ර වන්නේ අප සරණ ගිය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේයි. තුන් ලෝකාග‍්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත් අයට මෙලොව යහපතත්, පරලොව සුගතියත්, සියල් සැප අතර අග‍්‍ර වූ අමා මහ නිවන් සැපයත් ලබා ගන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහිකොට වඩන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි.
බුදුරජාණන් වහන්සේ එ් ගැන මෙසේ වදාළා.
‘‘පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එ්කාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සන්සිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම, අමා මහ නිවන පිණිස ම හේතු වෙනවා. එ් එක ම එක දේ බුද්ධානුස්සතියයි.
විශාඛා උපෝසථ සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ බුද්ධානුස්සති භාවනාව ගැන තව දුරටත් මෙසේ පෙන්වා දුන්නා.
‘‘පින්වත් විශාඛා, ආර්යශ‍්‍රාවකයා තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරනවා. තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප‍්‍රමුදිත බව උපදිනවා. සිතේ යම් උපක්ලේස ඇත්නම් එ්වා ප‍්‍රහාණය වනවා.
තවත් වරක දී මහානාම ශාක්‍ය රජු හට බුද්ධානුස්සතිය වැඞීමේ ආනිසංස මෙසේ පැහැදිලි කර දී තිබෙනවා.
‘‘මහානාමයෙනි, ආර්යශ‍්‍රාවකයා යම් කලෙක තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි නම් එවිට ඔහු තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වුණ සිතක් නැහැ. ඔහුගේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. අරුත් මෙනෙහි කිරීමෙන් සතුට ලබනවා. ධර්මය තුළින් සතුට ලබනවා. ධර්මයෙන් හට ගත් ප‍්‍රමුදිත බව ලබනවා. ප‍්‍රමුදිත වූ කෙනාට ප‍්‍රීතිය උපදිනවා. ප‍්‍රීති සිත් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුන කය ඇති කෙනා සැපයක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. මහානාමයෙනි, මේ ආර්යශ‍්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ ආදියෙන් විසම බවට ගිය ප‍්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියා ද දුක් සහිත ප‍්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියා ද දහම් සැඩ පහරට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියා ද කියනු ලැබේ.
එම නිසා අපි කවුරුත් එ් උතුම් බුද්ධානුස්සති භාවනාව මෙසේ පුරුදු කර ගනිමු.
බුද්ධානුස්සති භාවනාව
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලූ පාපයන්ගෙන් මිදුන සේක. සියලූ ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප‍්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ, අනන්ත වූ සීලයෙන් යුතු වන සේක. අනන්ත වූ සමාධියෙන් යුතුවන සේක. අනන්ත වූ ප‍්‍රඥාවෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්තියෙන් යුතු වන සේක. අනන්ත වූ විමුක්ති ඤාණ දර්ශනයෙන් වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේ, ඇසින් රූප දැක එ් රූප කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන එ් ගඳ සුවඳ කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ එ් රසය කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා එ් පහස කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා එ් අරමුණු කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක.. අරහං වන සේක.. අරහං වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප‍්‍රහාණය කළ යුතු වූ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප‍්‍රහාණය කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ යුතු වූ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම සාක්ෂත් කොට නිමවා වදාළ සේක. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ප‍්‍රගුණ කළ යුතු වූ දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප‍්‍රගුණ කොට නිමවා වදාළ සේක. මෙසේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පරිවර්ත තුනකින් යුතුව, ආකාර දොළොසකින් යුතුව, ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක.. සම්මා සම්බුද්ධ වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීම, ජලයේ සක්මන් කිරීම, පොළොවේ කිමිදී වෙන තැනකින් මතු වීම, ඕනෑම තැනකට නො පෙනී ගමන් කිරීම ආදි ඍද්ධි ප‍්‍රාතිහාර්ය ඤාණය ලබා ගත් සේක. තමන්ගේ මනෝමය ශරීරයෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව වූ මනෝමය ඍද්ධි ඤාණය ලබා ගත් සේක. ඕනෑම දෙයක් ඇසීමේ හැකියාව වූ දිව්‍ය ශ‍්‍රවණය ලබාගත් සේක. ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වූ දිවැස් නුවණ ද ලබාගත් සේක. සියලූ සත්වයන්ගේ සිත් සතන් දැකීමේ හැකියාව වූ පරචිත්ත විජානන ඤාණය ලබාගත් සේක. සියලූ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලූ ලෝක සත්වයන් කර්මානුරූප ව උපදින ආකාරය ද චුතවන ආකාරය ද දැකීමේ හැකියාව වූ චුතුපපාත ඤාණය ලබාගත් සේක. තමන් වහන්සේ තුළ පැවති සියලූ කෙලෙසුන්, සියලූ අවිද්‍යා, සියලූ තණ්හා, සියලූ උපාදාන නැතිකොට ආසවක්ඛ්‍ය ඤාණය ලබාගත් සේක. මෙසේ අනන්ත ඤාණ ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත සිල් ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප‍්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක.. විජ්ජාචරණ සම්පන්න වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාළ නිසා සුගත වන සේක.. සුගත වන සේක.. සුගත වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ‍්‍රහ්ම ලෝක ද සියලූ දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදි මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන මේ සියලූ ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක.. ලෝකවිදූ වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නො හැකි වූ අකීකරු දෙවි මිනිසුන් මහා කරුණාවෙන්, මහා ප‍්‍රඥාවෙන් ඍද්ධි ප‍්‍රාතිහාර්යයෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දෙව් ලොව දෙවියන්ට ද මනුලොව මිනිසුන්ට ද සසර කතරින් එතෙර වීම පිණිස එ් අමා නිවන් මග පෙන්වා වදාළ නිසා නුවණැති දෙවියන්ගේ ද නුවණැති මිනිසුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක.. සත්ථා දේව මනුස්සානං වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කරවීම පිණිස ඉතා පැහැදිලි ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.. බුද්ධ වන සේක.. බුද්ධ වන සේක..
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ සියලූ සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. හිරු සඳු එළිය පරදන අනන්ත වූ ප‍්‍රඥාලෝකය දරා ගැනීමට තරම් භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. භාග්‍යය ඇති සේක.. බුදුරජාණන් වහන්සේ භගවා වන සේක.. භගවා වන සේක.. භගවා වන සේක..
අනන්ත ගුණ ඇති, අනන්ත නුවණ ඇති, අනන්ත වීරිය ඇති, අනන්ත සිල් ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප‍්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, මහා කරුණා ඇති, මහා ප‍්‍රඥා ඇති, බුදුරජාණන් වහන්සේව මම සරණ යමි. දෙවනුව ද මම සරණ යමි. තෙවනුව ද මම සරණ යමි. මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම ආලෝකය වේවා! මාගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ එක ම පිළිසරණ වේවා! එක ම සැනසිල්ල වේවා..!!!
සාදු..! සාදු..!! සාදු..!!!
(ගුරුදේවෝත්තම අති පූජනීය පින්වත් කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ බුද්ධානුස්සති භාවනාවන් ඇසුරින්, මහමෙව්නා භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)
සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/all-time-favourites/buddhanussathiya


Mahamegha

Total Pageviews