Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 27, 2015

කල්ප විනාශය

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, කුසල් සංස්‌කාරයන්ට අදාළ ධර්මයන් නොදන්නා නිසාම, මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය කර්මඵල විශ්වාසයන්ට පහරදෙමින්, දානයේ ශීලයේ ආනිසංශ කෙරෙහි විශ්වාසයෙන් බැහැරවෙමින්, තෙරුවන්ට ගරු නොකරන, සද්ධර්මයක්‌ ශ්‍රවණය නොකරන, පන්සලකට ආරණ්‍යයකට නොයන, සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දශමයක්‌වත් නොදන්නා පිංවතුන්, මිථ්‍යාදෘෂ්ටියේ ඵලයන්, ධනාත්මක වටිනාකම් හැටියට සමාජගත කිරීමේ මාරපාක්‍ෂික ක්‍රියාදාමයන්, පිංවත් ඔබ විසින් නුවණින් හඳුනාගැනීම, ඔබේ සම්මා දිට්‌ඨියේ අර්ථයන් දියුණුකොටගැනීමට ඔබට පහසුවක්‌ වෙනවා.
සම්මා සම්බුද්ධ ශාසනයට හිතැති, ගිහි පිංවත් ඔබ, ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ගේ පෝෂණය උදෙසාම ලබාදෙන්න. සමාජයේ ජීවත්වෙන ලොකු කුඩා කව්රුන් වේවා, ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්‌ නැති කෙනෙක්‌නම්, පන්සලකට ආරණ්‍යයකට නොයන කෙනෙක්‌ නම්, ශීලයට වටිනාකමක්‌ නොදෙන, සංඝරත්නයට දන් නොදෙන කෙනෙක්‌ නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට මූලිකත්වය නොදෙන කෙනෙක්‌ නම්, පිංවත් ඔබ කරුණාකර ඔහු සමග නොගැටෙන්න. ඔහු තුළින් මිථ්‍යාදෘශ්ටිකභාවයේ හැඩරුව හඳුනාගන්න. එම පිංවතුන්ගේ අදහස්‌වලට වටිනාකමක්‌ දෙන්න එපා. එවැනි පිංවතුන්ලාව මගහැර යන්නය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඔබ නොදන්නාභාවය නිසාම, ආවේගශීලීභාවය නිසා, එවැනි මිථ්‍යාදෘශ්ටික අදහස්‌වලට අනුකූලත්වය දැක්‌වුවහොත් ඔබ තුළත් නැති ලෝභ සිත් ඇතිවෙනවා. නැති ද්වේශ සිත් ඇතිවෙනවා. නැති මෝහ සිත් ඇතිවෙනවා. අවසානයේ අනුන්ගෙන් පළිගැනීමට ගොස්‌, තමන් සකස්‌ කරගන්නා අකුසල් හේතුවෙන් තමා නොදැනුවත්ව තමාගෙන්ම පළිගන්නවා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'මහණෙනි, යම් දවසක්‌ එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක්‌ වෙනවා. මේ සියල්ලම මේ ආකාරයෙන් වියළී , සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී වියළී නිමාවට පත්නොවෙනවා'ය කියලා.
භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක්‌ විනාශකාරී ස්‌වභාවයක්‌ අරමුණුවෙනවා. උන්වහන්සේට දේශසීමා, සීමා මායිම්, තාප්ප වැටකඩොලු කිසිවක්‌ නැති මහපොළොවක්‌ අරමුණු වෙන්නේ. ගහක්‌ කොළක්‌, කන්දක්‌, ගල්පරයක්‌ නැති, ඇළක්‌ දොළක්‌, ගංගාවක්‌, මහසාගරයක්‌ නැති මහපොළොවකුයි අරමුණුවෙන්නේ. මුළු පරිසරයම දුමෙන් වැහිලා. දුම තුළින් භික්‍ෂුවට පරිසරය විනිවිද පෙනෙනවා. තද කළු විෂම දුමක්‌ නොවේ තිබෙන්නේ. ලා කළු සහ අළු පැහැති දුමක්‌ පෙනෙන්නේ. තදින් පිච්චී ගිය කුට්‌ටි කුට්‌ටි කොටස්‌ හැටියට ආකාසයේ කෑලි කඩාගෙන වැටෙනවා. ඒවා කැඩී ඒවා ආකාසය තුළදීම අළු දුහුවිලි බවට පත්වී පරිසරයට, මහපොළොවට එකතුවෙනවා. මෙම කඩාවැටෙන කුට්‌ටි භික්‍ෂුවට පෙනෙන්නේ, යම් ඝන දෙයක්‌ හොඳටම දැවුණාට පසුව, සකස්‌වෙන අළු කුට්‌ටි ස්‌වභාවයට. එවැනි අළු කුට්‌ටි දහස්‌ ගණනක්‌ භික්‍ෂුවට දර්ශනය වෙනවා. පරිසරය තුළ වේගවත් ක්‍රියාකාරීත්වයක්‌ සිද්ධවෙනවා. ස්‌වභාවිකවම. අළු දුහුවිලි විනා, අඟූරු කැබැල්ලක දෙයක්‌වත් භික්‍ෂුවට අරමුණු වෙන්නේ නැහැ. පස්‌ කැබැල්ලක්‌වත්, ගල් කැබැල්ලක්‌වත් අරමුණුවෙන්නේ නැහැ. සියල්ල පිළිස්‌සී ගොසින්. සියල්ල අළු දුහුවිලි ලෙසයි පෙනෙන්නේ. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් දැකපු මේ දර්ශනය අතීතයේ සිදුවූ කල්ප විනාශයක අවසාන ජවනිකාවක්‌ කියලයි එම භික්‍ෂුව විශ්වාස කරන්නේ. භික්‍ෂුවක්‌ දකින මේ කල්ප විනාශයේදී, මුළුමහත් මහපොළොවම සමතලා බිමක්‌ බවට පත්වෙනවා. ගල් කඳු පවා දැවී අළු බවට පත්වෙලයි තිබෙන්නේ. මේ දර්ශනය දැකීමට පෙර භික්‍ෂුව සිතාගෙන සිටියේ යොදුන් අසූහාරදහසක්‌ ගැඹුරු මහා සාගරයේ පිහිටි මහාමේරු පර්වතය, මහා සාගරයම සිඳී ගිනිගෙන විනාශ වුණාට පස්‌සේ, සිඳීගිය මහා සාගරය තුළ ගැඹුරු අගාධයක්‌ ලෙසින් පෙනෙනවාය කියලා. එහෙත් භික්‍ෂුව උතුම් සමාධියෙන් දකින්නේ, මුළු මහා සාගරයම සිඳීගියත්, එම සිඳීගිය මහා සාගරයේ යොදුන් අසූහතරදහසක්‌වූ ගැඹුර අළුවලින් පිරීගොස්‌ තිබූ ආකාරයක්‌. මොකද ජලය සිඳුණු සාගරයක්‌ භික්‍ෂුවට අරමුණුවෙන්නේ නැහැ. සමතලා පොළොවක්‌ පමණයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ජලය සිඳීගිය මහා සාගරයේ හිස්‌ ස්‌වභාවය, මහාමේරුව ගිනිගැනීම නිසා කඩාවැටෙන අළුවලින් පිරීගොස්‌ මුළුමහත් පොළොවම සමතලා බිමක්‌ වශයෙනුයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ.
මෙතැනදී භික්‍ෂුව අත්දැකීමෙන් දකිනවා, මහාමේරු පර්වතයත්, මුළු මහපොළොවේ ස්‌වභාවික පරිසරයත් ගිනිගෙන විනාශවීමෙන් පසුව, බොහොම ඝන අළු තට්‌ටුවක්‌ මහපොළොව මතුපිට සමතලා ආකාරයට පිහිටනවා කියලා. මහ පොළොව සහ සිනේරු පර්වතයේ, ගල් වැලි පස්‌ සහිත රස පොළොවේ සාරය ඉරවල් හතක උෂ්ණත්වයෙන් පිච්චී, මහ පොළොව මත ඇතිවන ඝන අළු තට්‌ටුවයි, ඉනික්‌බිති මහා වැසි පතිතවී, ඇතිවෙන රසායනික හෝ ස්‌වභාවික වෙනත් ක්‍රියාවලියක්‌ නිසා, රසැති යෝගට්‌ එකක්‌ සේ මහපොළාව මත මිදෙන්නේ. මෙවන් හේතුඵල ධර්මයන්ගේ විශ්මිත යථාර්ථයක්‌ වූ කල්ප විනාශයකුයි තම සමාධියෙන් එම භික්‍ෂුව විසින් දර්ශනය කරගත්තත්, එම දර්ශනය එම භික්‍ෂුවට තවත් එක්‌ අතීත පංච උපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. දැක්‌කා කියන තැන එම භික්‍ෂුව නැවතිලා, එය හුදු හේතුඵල ධර්මයක්‌. බුදුරජාණන්වහන්සේට නමස්‌කාර වේවා. ඔබ වහන්සේමයි මාර්ගය වූයේ.
භික්‍ෂුව අතීත කල්ප විනාශයන් පිළිබඳව යම් චිත්‍රයක්‌ ඔබට සටහන් කළේ, මේ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට පෙන්වන්න. කල්ප විනාශයේ උෂ්ණත්වය, දුම, කෑලි පිපිරී මහාමේරුව අළු කුට්‌ටි වශයෙන් මහපොළොව මතට කඩා වැටීම කියන කාරණය භික්‍ෂුවට සිහිපත්වෙන්නේ, ඒ කටුක වියළි, උණුසම් පරිසරය තුළ පිංවත් ඔබත් මමත් පිච්චි පිච්චී අමනුෂ්‍යයන් හැටියට වින්දා වූ දුකයි. කෝටි ප්‍රකෝටි කීයක්‌ සත්වයින් මේ දුක්‌ගිනිවලට පිච්චෙමින්, මැරෙමින්, ඉපදෙමින් දුක්‌විඳින්න ඇතිද? පිච්චීම වැඩිවෙනකොට, අකුසල මූලයන් වැඩිවෙනවා. අකුසල් මූලයන් වැඩිවෙනකොට මරණය වේගවත් වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලියම සිදුවෙනවා. කල්පයක්‌ තුළ කරගත්තාවූ මහාමේරුපර්වතය වැනි අකුසල් කන්දක්‌ සත්වයාට කල්ප විනාශයකදී විපාක දෙනවා. පිංවත් ඔබ කලකිරෙන්න. අසාධාරණ ලෝකයක්‌ මේක. මනුෂ්‍යකමක්‌ නැති ලෝකයක්‌ මේක, කෘතවේදීත්වයක්‌ නැති ලෝකයක්‌ මේක, අසත්පුරුෂ මාරයාට අයිති ලෝකයක්‌ මේක. සශ්‍රිකභාවය, ධනවත්භාවය, රූමත්භාවය, උගත්භාවය, කුලවත්භාවය පෙන්වලා ඒවා කෙරෙහි කාමච්ඡන්දයන් සකස්‌කොටදීලා, අකුසලයට යොමුකරලා, කල්ප ගණන් සුගතිය දුගතිය අතර දෝලනය කරලා, අවසානයේ පුච්ච පුච්චා මරාදමනවා.


Courtesy බෞද්ධයා - The Buddhist

Sunday, June 14, 2015

බෝධි පූජාවෙන් සෙතක් ලැබෙන්නේ කෙසේ ද?

ගෞතම බුදුරජාණන් වහන්සේට සකල ක්ළේශ ප්‍රහීණ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වීමට උපකාරි වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සකල ලෝකයාගේම අති මහත් ගෞරවයට පූජනීයත්වයට පත් වූ වෘක්ෂයකි. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව තනිවම නිවන් මඟ සොයා ගැනීමට අදිටන් කරගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සුජාතා දේවිය පිදූ කිරිපිඬු වළඳා නේරංජනා නදිය අසබඩ ගයා ශීර්ෂයේ (වත්මන් බුද්ධ ගයාවේ) ඇසතු රුකක් මුල වාඩි වී බුදු වී මිස නොනැගිටිමියි අදිටන් කොට, වෙසක් පුන්සඳ රැස් දහරින් ලොව නැහැවෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ අදත් අභිමානයෙන් වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් බොදුනුවකුට ලැබෙන භාග්‍යයකි.
බෝධියයන්නෙන් අදහස් කැරෙන්නේ අවබෝධය ලැබීමයන්න යි. එහිදී අවබෝධ කරන්නේ කුමක්ද? ලෝකය අවබෝධ කරගැනීම, ‘’බුද්ධවෙයි. ලෝකයේ ඇතිවීම, පැවැතීම හා නැතිවීම පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධයන්නෙන් අර්ථවත් වෙයි. මෙහි ලෝකයයනු උපදාන ස්කන්ධයයි. ඇතිවන සියල්ල අනිත්‍යයි. වෙනස් වෙයි. යමක් අනිත්‍ය නම්, ඒ දුකයි. (යදනිච්චං තං දුක්ඛං) දුක අවබෝධ කරගත් පසු දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙයි. දුක ඇතිවීමට හේතුව වූ තණ්හාව ප්‍රහීණ කිරීමෙන් නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙයි. බෝධියයන්නෙන් අදහස් කළේ ඒ උතුම් සත්‍යය අවබෝධ කර ගැනීමයි.
එවන් අති උතුම් අර්ථයකින් පූජනීයත්වයට පත්, බුදුරජාණන් වහන්සේ පිටදුන් ඇසතු වෘක්ෂයට ඒම නිසා බෝධිරාජයාණන් වහන්සේ නමින් අති මහත් ගෞරවයෙන් අපි සලකමු. එය පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වුවද, අදත් එම බෝධිරාජයාණන් වහන්සේටත් (ජය ශ්‍රී මහා බෝධිය) අනෙකුත් බෝධීන් වහන්සේටත් සැදැහැවත්හු මල් පහන් පූජා පවත්වති. මෙය තවදුරටත් වෘක්ෂ වන්දනාවක් හැටියට සැළකුවහොත් එය මහත් වරදකි. ඇතැම් අය බෝධි පූජා පැවැත්වීම ඛ්රසුන් ක්‍රියාවක් ලෙස කතා කරති. එවැනි අය ගැන අනුකම්පා කළ යුතුය.
ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු රුක් මුල බුද්ධත්වය ලැබීම සඳහා භාවිතා කළ අතර, අනෙක් බුදුරජාණන් වහන්සේ නුග, පළොල්, මී නා ආදී වෘක්ෂ භාවිතා කළ බව මහාපදාන සූත්‍රය වැනි සූත්‍රවලින් හෙළි වෙයි.
බෝධි පූජාව යනු කුමක්ද? බෝධියට පූජා පැවැත්වීම මගින් අදහස් කැරෙන්නේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරමින්, එම ගුණ සජ්ඣායනය කරමින් බෝධීන් වහන්සේට පූජා පැවැත්වීමයි. එය බුද්ධානුස්සතිභාවනාවකි. දඹදිව ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී හෝ අනුරාධපුර ශ්‍රී මහා බෝධි මූලයේදී හෝ අෂ්ටඵල බෝධි මූලයකදී හෝ දෙතිස් ඵල බෝධි මූලයකදී හෝ කවර බෝධි මූලයක දී හෝ අප විසින් කරනු ලබන්නේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයකට පත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කිරීමයි. එබැවින් එය උතුම් පූජාවකි.
බෝධි පූජා පැවැත්විය යුත්තේ කෙසේ ද යන්නද විමසිය යුතුªය. බෝධි පූජා පැවැත්වීමට පෙර බෝධීන් වහන්සේ අවට නැමද පවිත්‍ර කරගත යුතු ය. බෝධියට පුදා ඇති පර මල් හා වෙනත් පූජා භාණ්ඩ ඉවත් කොට පූජාසනය හොඳින් පිරිසුදු කර ගත යුතු ය. හොඳින් පෙරාගත් පිරිසුදු ජලයෙන් බෝධීන් වහන්සේ නෑවීම ද සුදුසු ය. අනතුරුව අත් සෝදා පිරිසුදු කරගත යුතු ය. මල්, පහන්, සුවඳ දුම් ඉතා ගෞරවයෙන් පුදා නමස්කාර කළ යුතු ය. ඉන් පසුව පහසු තැනෙක වාඩි වී අවබෝධයෙන් යුතුව ඒ කෙරෙහිම අවධානයෙන් යුතුව වටපිට නොබලමින් තිසරණ සහිත පන්සිල් සමාදන් විය යුතු ය. තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කළ යුතු ය. ගාථා කියා පූජා පැවැත්විය යුතු ය. ගාථා කීමෙන් අදහස් කැරෙන්නේ ස්තුති පූජාවයි. බුදුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත්වීමත් බෝධිය පරිහරණය කිරීමත් මෙනෙහි කළ යුතු ය.

සේවිතං ධම්ම රාජේන
නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං
තිබ්බාන සුඛදායකං

ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙවි මිනිසුන් විසින් පුදනු ලබන වඳින පුදන බෝධිරාජයාණන්ට වඳිමි යනු එහි අර්ථයයි. එවැනි අර්ථයකින් සියලු බෝධිරාජයාණන් වහන්සේ පරම පූජනීය වන්දනීය බැවින් ගෞරවයෙන් වැඳුම් පිඳුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කරදරයක් වූ විට පමණකි. කෙනෙකු යම්කිසි තදබල අසනීපයකින් පසු වන විට හෝ වෙනත් විපතක් සිදු වූ විට ඡ්‍යොතිෂඥයකුගේ් උපදෙස් අනුව ග්‍රහ අපල දුරුකර ගැනීමට බෝධිපූජා පැවැත්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ ආකාරයෙන් හෝ ආගම දහමට ඳඬසුන් යොමු කිරීම පිළිබඳ ඡ්‍යොතිෂඥයන්ට ස්තුති කළ යුතු ය. ඔවුන් කීවත් නැතත් බෝධි පූජා පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායක ය. එහෙත් එය ග්‍රහ අපල දුරුකරන ශාන්ති කර්මයක් නම් නොවේ. පහත් පාපකාරී ක්‍රියාවල යෙදෙමින් මත් වතුර පානය කරමින් අධාර්මික ජීවිත ගත කරන අයද ඡ්‍යොතිෂඥයන්ගේ උපදෙස් මත ප්‍රතිපත්තියකින් තොරව ආවාට ගියාට බෝධිය නාවා, මල් පහන් තබා, කවි කීපයක් ගායනා කොට යන සිරිතක් අද දක්නට ලැබේ.
බෝධීන් වහන්සේට පුද සත්කාර කරන්නේ් ජීවමාන බුදුන් වහන්සේට පුද සත්කාර වශයෙන් සලකා බව අප අමතක නොකළ යුතු ය. බෝධි පූජාව ආරම්භ වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට නිරතුරුව ජේතවනාරාමයට පැමිණෙන ජනතාවට උන්වහන්සේ එහි නැති අවස්ථාවලදී වැඳ පුදා ගැනීමට ජය ශ්‍රී මහා බෝධී මූලයෙන් ලබාගත් ශාඛාවක් ජේතවනාරාමයේ රෝපණය කැරිණි. එය අද දක්වාම ආනන්ද බෝධියනමින් ලෝකයාගේ වැඳුම් පිඳුම් වලට ලක් වෙමින් පවතී.
මෙසේ මහත් ගෞරවයට පාත්‍ර වන පාත්‍ර විය යුතු බෝධීන් වහන්සේට නිසි වතාවත් පවත්වා, පූජා පැවැත්වීම බුදුන් වහන්සේට කරන ගෞරවයක් සේම ආනිශංසදායක ය. මෙලොව සුව මෙන්ම පරලොව සුගතියටද එය හේතුවකි. එබැවින් බෝධි පූජාව මහත් ප්‍රතිඵලදායි පූජාවකි. ග්‍රහ අපල දුරුවන්නැයි බෝධි පූජා පවත්වා පැතුවත් නැතත්, නියම වතාවත් පවත්වා බුදුගුණ මෙනෙහි කර කරනු ලබන බෝධි පූුජාව නිසා ශාන්තියක්ම සිදුවෙයි. යහපතක්ම සිදුවෙයි. එක් දිනක් පමණක් නොව නිරතුරුව බෝධි පූුජා පැවැත්වීම යහපත් ය.
.
විශ්‍රාම ලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
ධර්ම සෙන්දනායක

 Courtesy -  බෞද්ධයා - The Buddhist

Mahamegha

Total Pageviews