Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Showing posts with label ලෝකයේ ආරම්භය සහ විනාශය. Show all posts
Showing posts with label ලෝකයේ ආරම්භය සහ විනාශය. Show all posts

Saturday, June 27, 2015

කල්ප විනාශය

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, කුසල් සංස්‌කාරයන්ට අදාළ ධර්මයන් නොදන්නා නිසාම, මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය කර්මඵල විශ්වාසයන්ට පහරදෙමින්, දානයේ ශීලයේ ආනිසංශ කෙරෙහි විශ්වාසයෙන් බැහැරවෙමින්, තෙරුවන්ට ගරු නොකරන, සද්ධර්මයක්‌ ශ්‍රවණය නොකරන, පන්සලකට ආරණ්‍යයකට නොයන, සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දශමයක්‌වත් නොදන්නා පිංවතුන්, මිථ්‍යාදෘෂ්ටියේ ඵලයන්, ධනාත්මක වටිනාකම් හැටියට සමාජගත කිරීමේ මාරපාක්‍ෂික ක්‍රියාදාමයන්, පිංවත් ඔබ විසින් නුවණින් හඳුනාගැනීම, ඔබේ සම්මා දිට්‌ඨියේ අර්ථයන් දියුණුකොටගැනීමට ඔබට පහසුවක්‌ වෙනවා.
සම්මා සම්බුද්ධ ශාසනයට හිතැති, ගිහි පිංවත් ඔබ, ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ගේ පෝෂණය උදෙසාම ලබාදෙන්න. සමාජයේ ජීවත්වෙන ලොකු කුඩා කව්රුන් වේවා, ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්‌ නැති කෙනෙක්‌නම්, පන්සලකට ආරණ්‍යයකට නොයන කෙනෙක්‌ නම්, ශීලයට වටිනාකමක්‌ නොදෙන, සංඝරත්නයට දන් නොදෙන කෙනෙක්‌ නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට මූලිකත්වය නොදෙන කෙනෙක්‌ නම්, පිංවත් ඔබ කරුණාකර ඔහු සමග නොගැටෙන්න. ඔහු තුළින් මිථ්‍යාදෘශ්ටිකභාවයේ හැඩරුව හඳුනාගන්න. එම පිංවතුන්ගේ අදහස්‌වලට වටිනාකමක්‌ දෙන්න එපා. එවැනි පිංවතුන්ලාව මගහැර යන්නය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඔබ නොදන්නාභාවය නිසාම, ආවේගශීලීභාවය නිසා, එවැනි මිථ්‍යාදෘශ්ටික අදහස්‌වලට අනුකූලත්වය දැක්‌වුවහොත් ඔබ තුළත් නැති ලෝභ සිත් ඇතිවෙනවා. නැති ද්වේශ සිත් ඇතිවෙනවා. නැති මෝහ සිත් ඇතිවෙනවා. අවසානයේ අනුන්ගෙන් පළිගැනීමට ගොස්‌, තමන් සකස්‌ කරගන්නා අකුසල් හේතුවෙන් තමා නොදැනුවත්ව තමාගෙන්ම පළිගන්නවා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'මහණෙනි, යම් දවසක්‌ එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක්‌ වෙනවා. මේ සියල්ලම මේ ආකාරයෙන් වියළී , සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී වියළී නිමාවට පත්නොවෙනවා'ය කියලා.
භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක්‌ විනාශකාරී ස්‌වභාවයක්‌ අරමුණුවෙනවා. උන්වහන්සේට දේශසීමා, සීමා මායිම්, තාප්ප වැටකඩොලු කිසිවක්‌ නැති මහපොළොවක්‌ අරමුණු වෙන්නේ. ගහක්‌ කොළක්‌, කන්දක්‌, ගල්පරයක්‌ නැති, ඇළක්‌ දොළක්‌, ගංගාවක්‌, මහසාගරයක්‌ නැති මහපොළොවකුයි අරමුණුවෙන්නේ. මුළු පරිසරයම දුමෙන් වැහිලා. දුම තුළින් භික්‍ෂුවට පරිසරය විනිවිද පෙනෙනවා. තද කළු විෂම දුමක්‌ නොවේ තිබෙන්නේ. ලා කළු සහ අළු පැහැති දුමක්‌ පෙනෙන්නේ. තදින් පිච්චී ගිය කුට්‌ටි කුට්‌ටි කොටස්‌ හැටියට ආකාසයේ කෑලි කඩාගෙන වැටෙනවා. ඒවා කැඩී ඒවා ආකාසය තුළදීම අළු දුහුවිලි බවට පත්වී පරිසරයට, මහපොළොවට එකතුවෙනවා. මෙම කඩාවැටෙන කුට්‌ටි භික්‍ෂුවට පෙනෙන්නේ, යම් ඝන දෙයක්‌ හොඳටම දැවුණාට පසුව, සකස්‌වෙන අළු කුට්‌ටි ස්‌වභාවයට. එවැනි අළු කුට්‌ටි දහස්‌ ගණනක්‌ භික්‍ෂුවට දර්ශනය වෙනවා. පරිසරය තුළ වේගවත් ක්‍රියාකාරීත්වයක්‌ සිද්ධවෙනවා. ස්‌වභාවිකවම. අළු දුහුවිලි විනා, අඟූරු කැබැල්ලක දෙයක්‌වත් භික්‍ෂුවට අරමුණු වෙන්නේ නැහැ. පස්‌ කැබැල්ලක්‌වත්, ගල් කැබැල්ලක්‌වත් අරමුණුවෙන්නේ නැහැ. සියල්ල පිළිස්‌සී ගොසින්. සියල්ල අළු දුහුවිලි ලෙසයි පෙනෙන්නේ. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් දැකපු මේ දර්ශනය අතීතයේ සිදුවූ කල්ප විනාශයක අවසාන ජවනිකාවක්‌ කියලයි එම භික්‍ෂුව විශ්වාස කරන්නේ. භික්‍ෂුවක්‌ දකින මේ කල්ප විනාශයේදී, මුළුමහත් මහපොළොවම සමතලා බිමක්‌ බවට පත්වෙනවා. ගල් කඳු පවා දැවී අළු බවට පත්වෙලයි තිබෙන්නේ. මේ දර්ශනය දැකීමට පෙර භික්‍ෂුව සිතාගෙන සිටියේ යොදුන් අසූහාරදහසක්‌ ගැඹුරු මහා සාගරයේ පිහිටි මහාමේරු පර්වතය, මහා සාගරයම සිඳී ගිනිගෙන විනාශ වුණාට පස්‌සේ, සිඳීගිය මහා සාගරය තුළ ගැඹුරු අගාධයක්‌ ලෙසින් පෙනෙනවාය කියලා. එහෙත් භික්‍ෂුව උතුම් සමාධියෙන් දකින්නේ, මුළු මහා සාගරයම සිඳීගියත්, එම සිඳීගිය මහා සාගරයේ යොදුන් අසූහතරදහසක්‌වූ ගැඹුර අළුවලින් පිරීගොස්‌ තිබූ ආකාරයක්‌. මොකද ජලය සිඳුණු සාගරයක්‌ භික්‍ෂුවට අරමුණුවෙන්නේ නැහැ. සමතලා පොළොවක්‌ පමණයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ජලය සිඳීගිය මහා සාගරයේ හිස්‌ ස්‌වභාවය, මහාමේරුව ගිනිගැනීම නිසා කඩාවැටෙන අළුවලින් පිරීගොස්‌ මුළුමහත් පොළොවම සමතලා බිමක්‌ වශයෙනුයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ.
මෙතැනදී භික්‍ෂුව අත්දැකීමෙන් දකිනවා, මහාමේරු පර්වතයත්, මුළු මහපොළොවේ ස්‌වභාවික පරිසරයත් ගිනිගෙන විනාශවීමෙන් පසුව, බොහොම ඝන අළු තට්‌ටුවක්‌ මහපොළොව මතුපිට සමතලා ආකාරයට පිහිටනවා කියලා. මහ පොළොව සහ සිනේරු පර්වතයේ, ගල් වැලි පස්‌ සහිත රස පොළොවේ සාරය ඉරවල් හතක උෂ්ණත්වයෙන් පිච්චී, මහ පොළොව මත ඇතිවන ඝන අළු තට්‌ටුවයි, ඉනික්‌බිති මහා වැසි පතිතවී, ඇතිවෙන රසායනික හෝ ස්‌වභාවික වෙනත් ක්‍රියාවලියක්‌ නිසා, රසැති යෝගට්‌ එකක්‌ සේ මහපොළාව මත මිදෙන්නේ. මෙවන් හේතුඵල ධර්මයන්ගේ විශ්මිත යථාර්ථයක්‌ වූ කල්ප විනාශයකුයි තම සමාධියෙන් එම භික්‍ෂුව විසින් දර්ශනය කරගත්තත්, එම දර්ශනය එම භික්‍ෂුවට තවත් එක්‌ අතීත පංච උපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. දැක්‌කා කියන තැන එම භික්‍ෂුව නැවතිලා, එය හුදු හේතුඵල ධර්මයක්‌. බුදුරජාණන්වහන්සේට නමස්‌කාර වේවා. ඔබ වහන්සේමයි මාර්ගය වූයේ.
භික්‍ෂුව අතීත කල්ප විනාශයන් පිළිබඳව යම් චිත්‍රයක්‌ ඔබට සටහන් කළේ, මේ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට පෙන්වන්න. කල්ප විනාශයේ උෂ්ණත්වය, දුම, කෑලි පිපිරී මහාමේරුව අළු කුට්‌ටි වශයෙන් මහපොළොව මතට කඩා වැටීම කියන කාරණය භික්‍ෂුවට සිහිපත්වෙන්නේ, ඒ කටුක වියළි, උණුසම් පරිසරය තුළ පිංවත් ඔබත් මමත් පිච්චි පිච්චී අමනුෂ්‍යයන් හැටියට වින්දා වූ දුකයි. කෝටි ප්‍රකෝටි කීයක්‌ සත්වයින් මේ දුක්‌ගිනිවලට පිච්චෙමින්, මැරෙමින්, ඉපදෙමින් දුක්‌විඳින්න ඇතිද? පිච්චීම වැඩිවෙනකොට, අකුසල මූලයන් වැඩිවෙනවා. අකුසල් මූලයන් වැඩිවෙනකොට මරණය වේගවත් වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලියම සිදුවෙනවා. කල්පයක්‌ තුළ කරගත්තාවූ මහාමේරුපර්වතය වැනි අකුසල් කන්දක්‌ සත්වයාට කල්ප විනාශයකදී විපාක දෙනවා. පිංවත් ඔබ කලකිරෙන්න. අසාධාරණ ලෝකයක්‌ මේක. මනුෂ්‍යකමක්‌ නැති ලෝකයක්‌ මේක, කෘතවේදීත්වයක්‌ නැති ලෝකයක්‌ මේක, අසත්පුරුෂ මාරයාට අයිති ලෝකයක්‌ මේක. සශ්‍රිකභාවය, ධනවත්භාවය, රූමත්භාවය, උගත්භාවය, කුලවත්භාවය පෙන්වලා ඒවා කෙරෙහි කාමච්ඡන්දයන් සකස්‌කොටදීලා, අකුසලයට යොමුකරලා, කල්ප ගණන් සුගතිය දුගතිය අතර දෝලනය කරලා, අවසානයේ පුච්ච පුච්චා මරාදමනවා.


Courtesy බෞද්ධයා - The Buddhist

Monday, May 4, 2015

ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ


බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.
බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.
විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.
බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.
බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.
එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,
1. සහස්සි චූලනිකා ලෝක ධාතු
2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු
3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.
දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.
ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.
බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.
අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?
මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.
බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.
ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.
---------------------------------------------------------
වඩා ගැඹුරු ධර්ම දේශනා වල බුදුරජාණන් වහන්සේ විසින් ලෝකය පනවා ඇත්තේ බඹයක් පමණ ශරිරයෙනි. එනම් ස්කන්ධ පහෙනි, නැතිනම් ආයතන දොළොසෙනි. මේ ආයතන හෝ ස්කන්ධ පිරිසිඳ දැකීමෙන් මුළු ලෝකයම අවබෝධ කරගත හැකිය.


Mahamegha

Total Pageviews