බුදුරජාණන්
වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ උන්වහන්සේට ඇප උපස්ථාන කළ දායකවරු බොහෝ වූහ. ඔවුන්
අතර අනේපිඬු සිටිතුමාට සුවිශේෂ තැනක් හිමිවේ. සිටු තනතුරක් දැරූ නිසාම ධනය නොමඳව
පැවැති එතුමා තුළ බුදුරදුන් කෙරෙහි පැවැති අසීමිත ශ්‍රද්ධා භක්තිය ද එසේම විය.
විශාල මිළ මුදලක් විය පැහැදම් කොට ජේතවනාරාමය නම් වූ සුවිසල් මහ වෙහෙර බුදුරදුන්ට
පූජා කරනු ලැබූයේ අනේපිඬු සිටුතුමාය.
ආරාමයක්
සාදවා පූජා කළා පමණක් නොව සිය මාලිගයෙහි හැමදාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය
වෙනුවෙන් දානය ද පිරිනැමුයේය.
අනේපිඩු
සිටුතුමාගේ නිවස පන්සලක දාන ශාලාවක් මෙන් විය. හැමදාම භික්‍ෂූන් වහන්සේලාට දන්
දීමට තරම් හරිහම්භ කරගත් ධනයක් ද එතුමා සතු විය. භික්‍ෂූන් වහන්සේලා ද නොමඳව එම
නිවසට වැඩම කළහ. එමෙන්ම සැවැත් නුවර වැසියන්ගේ ද අදහස් අනුව නගරයේ තැන් තැන්වල ද
දන්හල් ඉදිකොට දන් දෙන්නට පුරුදුව සිටියේය. සිය මාලිගයේ මහා සංඝරත්නය විෂයෙහි දන්
පිළිගැන්වීම පිළිබඳවත් නගරයේ තැන් තැන්වල ඉදිකොට ඇති ශාලාවල දන්දීම පිළිබඳවත්
වෙනත් රාජකාරීත් නිසා සිටුතුමාට බොහෝ අවිවේකී ස්වභාවයක් තිබිණි. එනිසාම සිටු
මැදුරෙහි දන් බෙදීම් පිළිබඳව විමසා බැලීමට සහ ආවතේව කිරීමට සිටුතුමා විසින් සිය
දූවරුන් තිදෙනාට බාර දුන්නේය.
මහා
සුභද්‍ර, චුල්ල සුභද්‍ර, සුමනාදේවි යනුවෙන් දූවරුන් තිදෙනා භික්‍ෂූන් වහන්සේලාට
දන් පහන් පූජා කිරීම භාරව කටයුතු කළාය. දන් පූජාකොට උන්වහන්සේලාගෙන් බණ දහම් ද අසා
දැන උගෙන ගත් මහා සුභද්‍ර සහ චුල්ල සුභද්‍ර දෙදෙනා සෝවාන් වූවාය. බාල නැගණිය වූ
සුමනා දේවි සකෘදාගාමී තත්වයට පත්වූවාය. ගුණ දහමෙහි මෙන්ම බණ දහමෙහි ද ආර්ය මාර්‍ගයෙහි
ද පිළිවෙත් පිරූ මේ තිදෙනා ලබා සිටි අධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව ඔවුන් විනා
වෙනත් කිසිවකු දැන සිටියේ නැත. අද මෙන් එදා තමන් ආර්ය මාර්‍ගයට පත්වී ඇතැයි අන් අය
සමඟ ප්‍රකාශ කරන තත්ත්වයක් එදා තිබුණේ නැත. එසේම යම්කිසි කෙනෙක් ආර්ය මාර්‍ගයේ
අධිතම තත්ත්වයන් ලබාගත්ත ද ඒවා අනෙක් අයට වචනයෙන් ප්‍රකාශ කිරීමට හෝ ඇඟවීමට කටයුතු
කිරීම හෝ වෙන අය ලවා කියවීම හෝ සිදු කිරීම බරපතළ වරදක් ලෙස බුදු සමය දක්වා තිබේ.
තමා තුළ උතුම් අධ්‍යාත්මික ගුණ පවතින්නේ නම් ඒ අනුව කටයුතු කිරීම වැදගත් වුවද අන්
අයට ප්‍රකාශ කරන්නට යාම පහත් ගතියකි.
අනේපිඬු
සිටුතුමාගේ බාල දුවනිය වූ සුමණාදේවී හිටිහැටියේම අසනීප තත්ත්වයට පත් වූවාය. ඇයගේ
රෝගී තත්ත්වය බලවත් වූයෙන් මරණාසන්න තත්වයටද පත් වූවාය. එක් දවසක් එම අවස්ථාවේ සිය
දුවනිය පිළිබඳව දුක්මුසුව ඇය බැලීමට පැමිණි අනේපිඬු සිටුතුමා සුමනා දේවිය අමතා
අසනීප ගැන තොරතුරු විචාළේය. එම අවස්ථාවේදී සුමනා දේවිය බාල මලණුවනි, අපහසුවක් නැතැයි යනුවෙන් සිය පියාණන්ට කීවේ තමා තාත්තා
බව සුමනා දේවියට අමතක වූයේ ඇය මරණාසන්න සමයේ විකල් මානසික තත්ත්වයක පසුවන නිසා
යැයි කල්පනා කළ අනේපිඬු සිටුතුමා ඇයි දුවනියේ මම තාත්තා බව මතක නැත්දැයි නැවතත්
ඇයගෙන් විමසා සිටියේය. ඇයි මතක නැත්තෙ බාල මලණුවනි, යනුවෙන් සුමනා දේවිය සිය පියාණන්ට “ බාල මලණුවනි” යනුවෙන්
නැවතත් ඇමතුවාය. ඇය තෙවරක්ම එසේ කතා කොට කලුරිය කළාය.
අනේපිඬු
සිටුතුමා බෙහෙවින් දුක් විය. තමන් මේ තරම්ම පිනට දහමට නැඹුරුව කටයුතු කරද්දිත් තම
දුවනිය බේරා ගැනීමට ආගම දහමෙන් වත් පිහිටක් ලැබුණේ නැහැ නේදැයි සිටුතුමා කල්පනා
කරන්නට විය. සිතේ කණස්සල්ලෙන්ම සිටුතුමා බුදුරජාණන් වහන්සේ දැක හිතේ ශෝකය නැතිකර
ගැනීමේ අදහසින් දෙව්රම් වෙහෙර බලා ගියේය. බුදුරජාණන් වහන්සේ ළඟ වැද වැටුණු
සිටුතුමා හිතේ දුක තුනී වෙනතුරු නිහඬව සිට තම දුවනිය වූ සුමනා දේවිය කලුරිය කළ බව
බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නේය.
“ බුදුහාමුදුරුවනේ, මගේ දුව මොන තරම් පින් දහම් කළාද, ඇයත් අනෙක් සහෝදරියන් සමග සිටුමැදුරේ දාන ශාලාව බාරව
කටයුතු කළාය. එතරම් පින්දහම් කළ ඇයත් අඩු වයසින් කලුරිය කළා. ඇය කලුරිය කරන
අවස්ථාවේ සිටියේ විකල් මනසින් ඇයට මාව කවුදැයි කියාවත් හරියට දැන අඳුනගන්න බැරි
වුනා. ඇය මට කතා කළේ මල්ලි කියලා. නැවත මා එය නිවරැදි කර දුන් පසුත් ඇය මට “ මලණුවනි” යනුවෙන්
ඇමතුවා තුන් වතාවක් එහෙම කිවුවා. මම ඒකෙනුයි තේරුම් ගත්තේ ඇය කලුරිය කරන අවස්ථාවේ
විකල් මානසිකත්වයෙන් සිටි බව මෙච්චර පින්දහම් කළ අයටත් එහෙමත් වෙනවා නේද “ බුදු හාමුදුරුවනේ.
සිදුවු
සිද්ධිය නිවැරදිව දත් බුදුහාමුදුරුවෝ අනේ පිඬු සිටුතුමා අමතා මෙසේ වදාළහ. “ සිටුතුමනි, ඔබ
හිතන හැටි වැරදියි. කෙනෙක් අරගෙන ආපු ආයුෂ ප්‍රමාණය අවසන් වුනාම ඔහු මරණයට පත්
වෙනවා. ඒක ඇත්ත වුනත් ඔබ ඔබේ දුවනිය විකල් මනසින් කලුරිය කළාය. කියා කියන කාරණය
නිවැරැදි නැහැ. ඔබ දන්නේ නැති වුනාට ඇය ආර්ය මාර්‍ගයේ ගොඩක් දුර ගමන් කළ උතුම්
තැනැත්තියක්. ඔබතුමා දැනට සෝවාන් තත්ත්වයට පත්වී තබෙනවා. නමුත් සුමනා දේවිය ඊට වඩා
එහා ගිය කෙනෙක්. ඇය සකෘදාගාමි තත්ත්වයට පත් වෙළයි හිටියේ. ඔබ ගැන සිතන්නේ මල්ලි
කෙනෙක් වගේ. ඔබ සෝවාන්. දුව සකෘදාගාමී. ඇය කලුරිය කළේ විකල් මනසින් නොවේ. හොඳ
සිහියෙන් ජීවත්වෙලා ඉන්න කාලය පුරා හොඳ වැඩ කළ නිසා අවබෝධ පූර්වකව සමාජයේ ජීවත්
වුන නිසා සකෘදාගාමී තත්ත්වයට පත්වී මෙලොවින් චුත වුන ඇය දැන් උපත ලබා තිබෙන්නේ
දිව්‍ය ලෝකවලින් සැප සම්පත් වැඩිම දෙව්ලොව හැටියට සැලකෙන තුසිත විමානයේ දිව්‍යාංගනාවක්
ලෙස.
බුදුරජාණන්
වහන්සේගේ දේශනාව ඇසූ අනේපිඬු සිටුතුමාගේ සිත පතුළේ කකියන ශෝකය අතරින් සිහිල්
සැනසුම් සුසුමක් පිට විය. හොඳින් ජීවත් වුනු අයට කවදාවත් වරදින්නේ නැහැ නේද යැයි
ඉබේම සිටුතුමාගේ මුවින් පිටවිය.
තෙරුවන්
සරණයි!
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය
සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත
වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු
දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share
කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
No comments:
Post a Comment