Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, August 24, 2016

ගිහි දිවිය තුළ රැඳී සිටිමින් ආර්ය මාර්ගය වැඩීම


එදා බුදු පියාණන් වහන්සේ දවස විසූ බොහෝ දෙනා බුදු පියාණන් වහන්සේගෙන් ම හෝ උන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් බුදු බණ අසා, ඒ බුදු බණෙහි සත්‍යතාව දැකගන්නා දහම් ඇ...ස පාදාගැනීමටසමත් වූ හ. එසේ දහම් ඇස පාදාගත් පුද්ගලයන් අතරින් ඇතැමෙක් මේ ජීවිතයේදී ම උතුම් රහත් සම්බෝධිය පසක් කරගැනීමේ අරමුණින් සම්බාධ බහුල වූ ගිහි දිවිය හැරපියා නිදහස් වූ පැවිදි බිමට බැසගෙන බ්‍රහ්මචාරී ව වෙසෙමින් නිවන් මග වැඩීමෙහි නිරත වූ හ.
එදා දඹදිව ථුල්ලකොට්ඨිත නියම්ගමෙහි විසූ රට්ඨපාල නම් සිටු තරුණයා පැවිදි බිමට පත් වූ ආකාරය ඒ සඳහා කදිම නිදසුනකි. පසු කලෙක රහතන් වහන්සේ නමක බවට පත් වී, තමා නවයොවුන් වියේදී ම පැවිදි වීමට යොමු වූ ආකාරය පිළිබඳ උන් වහන්සේ කෝරව්‍ය නම් රජු හමුවේ පැහැදිලි කොට ඇත්තේ මෙලෙසිනි:
මහ නිරිඳුනි, විසිතුරු වූ මෙලොවේ
සිත කලඹනසුලු, මධුර, මනෝහර
යම් කම්සැපයක් ඇතැ යි සිතේ නම්
ඒ කම්සැපයෙහි ආදීනව දැක
පැවිදි බිමට පත් වූයෙමි මෙලෙසින්
නටුවෙන් ගිලිහෙන තුරු-පල විලසින්
බාල, තරුණ හා මහලු දනන් සැම
හැර-යන කල ලොව, ගිලිහී දිවියෙන්
උතුම් පැවිද්දෙහි ඇති සැනසුම දැක
පැවිදි බිමට පත් වූයෙමි මෙලෙසින්
(රට්ඨපාල සූත්‍රය - ම.නි.)
මේ අයුරින් එදා රට්ඨපාල සිටු තරුණයා පමණක් නො ව, එවැනි සිය දහස් ගණනක් තව බොහෝ දෙනා බුදු බණ අසා දහම් ඇස පාදාගෙන කාමභෝගී ගිහි දිවිය හැරපියා පැවිදි බිමට බැසගත් ආකාරය ඇත්තෙන් ම අසිරිමත් ය.
කෙසේ වෙතත් එදා බුදු සසුනෙහි ශ්‍රාවකත්වය ලැබූ ඇතැම් කෙනෙක් විවිධ හේතූන් නිසා උතුම් වූ පැවිදි බිමට බැසගැනීමට නොහැකි ව ගිහි දිවිය තුළ රැඳී සිටිමින් ම තම-තමන්ගේ ශක්ති පමණින් ආර්ය මාර්ගය වැඩීමෙහි යෙදුණහ. ඔවුන් අතරින් සමහර කෙනෙක් ගිහි ගෙය තුළ ම උතුම් වූ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කරමින් අතිශයින් ම දහමට නැඹුරු වූ අල්පේච්ඡ ජීවිත ගත කළහ.
විශේෂයෙන් ම එදා අනාගාමි ඵලයට පත් ව සිටි උපාසකඋපාසිකාවන් ගිහි ජීවිතය ගත කළේ ඒ අයුරිනි. බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් තුළ හමු වන හත්ථිගාමක උග්ග ගෘහපති, චිත්ත ගෘහපති, දීඝායු උපාසක, නන්ද මාතා උපාසිකාව ආදි අනාගාමි ගිහි ශ්‍රාවකශ්‍රාවිකාවන්ගේ චරිත තුළින් ඒ බව මනා ව පැහැදිලි වෙයි. එවැන්නන්, බුදු සමිඳුන් විසින් හඳුන්වා ඇත්තේ බ්‍රහ්මචාරී ගිහි ශ්‍රාවකයන්’ (ගිහි ඕදාතවසනා බ්‍රහ්මචාරිනෝ) වශයෙනි.
කෙසේ වෙතත් මේ බුදු සසුනෙහි දහම් ඇස පාදාගත් තවත් බොහෝ ශ්‍රාවකශ්‍රාවිකාවෝ, මිය යන තුරු ම කාමභෝගී ගිහියන්’ (ගිහි ඕදාතවසනා කාමභෝගිනෝ) වශයෙන් ජීවිතය ගත කළහ. විශේෂයෙන් ම එදා බුදු සමිඳුන් දවස විසූ බොහෝ සෝතාපන්න උපාසක-උපාසිකාවන් ගත කළේ එවන් කාමභෝගී ජීවිත බව බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනා තුළින් පැහැදිලි වෙයි. අප හොඳින් අසා හුරුපුරුදු අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජු, විශාඛා සිටු දියණිය වැනි ආර්ය ශ්‍රාවකශ්‍රාවිකාවෝ එසේ කාමභෝගී ගිහි ජීවිත ගත කළ සෝතාපන්න පුද්ගලයෝ වූ හ.
තව ද ධර්මානුකූල ව විමසා බැලීමේදී සෝවාන් පුද්ගලයන් පමණක් නො ව, සකෘදාගාමි ඵලයට පත් වූ පුද්ගලයන් වුව ද කාමභෝගි ගිහි ජීවිත ගත කිරීම අභව්‍ය දෙයක් නොවන බව පෙනී යයි. ඊට හේතුව නම්, කාමයන්හි ඇලීම හා ගැටීම ඇති කරවන කාමරාග - පටිඝ යන කෙලෙස් සංයෝජනයන් තව ම ඔවුන් කෙරෙන් මුළුමනින් ම ප්‍රහාණය වී නොතිබීම යි. මෙසේ බුද්ධ ශ්‍රාවකයන් අතරෙහි කාමභෝගි ගිහි ජීවිත ගත කරමින් නිවන් මග වඩන බොහෝ ගිහියන් සිටිය හැකි ආකාරය පැහැදිලි කරමින් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ම වච්ඡගොත්ත නම් පිරිවැජියාට මෙසේ වදාරා ඇත:
වච්ඡය, එක් සියයක් නො වෙයි, දෙ සියයක් නො වෙයි, තුන් සියයක් නො වෙයි, සිව් සියයක් නො වෙයි, පන් සියයක් නො වෙයි. මාගේ ශ්‍රාවකයන් අතරෙහි, දහම් ඔවදන් අනුව සසුන කරන්නා වූ, සැකයෙන් එතෙර වූ, කෙසේ ද කෙසේ ද යන අවුල් දුරු වූ, දහමෙහි විශාරද වූ, අනුන් මත නොරැඳී ශාස්තෘ ශාසනයෙහි හැසිරෙන්නට සමත් වූ, කාමභෝගී ව ගිහිගෙහි වසනා උපාසකයෝ බොහෝ වෙති.” (මහා වච්ඡගොත්ත සූත්‍රය, ම.නි.)
මේ අනුව එදා මෙන් ම අදත්, අද මෙන් ම හෙටත්, යම් තාක් කල් නිර්මල වූ තථාගත දේශනාවන් ජීවමාන ව පවතී ද, යම් තාක් කල් ඒ දේශනාවන්ගේ සත්‍යතාව දැකගන්නට සමත් නැණවත් (විඤ්ඤූ) පුරුෂයන් ලොව සිටී ද, ඒ තාක් කල් මේ සම්බුදු සසුන, දහම් ඇස පාදාගත් ගිහි පැවිදි ශ්‍රාවකශ්‍රාවිකාවන්ගෙන් හිස් නොවනු ඇත. එසේ මේ බුදු සසුනෙහි දහම් ඇස උපදවාගත් ආර්ය ශ්‍රාවකයකුගේ ජීවිතය බ්‍රහ්මචාරි පැවිදි ජීවිතයක් ලෙස හෝ බ්‍රහ්මචාරි ගිහි ජීවිතයක් ලෙස හෝ කාමභෝගි ගිහි ජීවිතයක් ලෙස හෝ ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඒ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වුවත් දහම් දුටු ජීවිතය සැම විට ම තථාගත ධර්මය මත පිහිටි, තථාගත ධර්මය පෙරටු කොටගත්, තථාගත ධර්මය අනුව මෙහෙයවෙන නිවැරදි ජීවිතයකි.
තමන්ටත් අනුන්ටත් උපකාර පිණිස ලෙවී-ලොවුතුරු අභිවෘද්ධිය පිණිස යොමු වූ උතුම් ජීවිතයකි. දහම් දුටු ජීවිතයකස්වභාවය එය යි, අගය එය යි, අසිරිය ද එය යි! පුද්ගලයකු සෝවන් ඵලයට පත් වූ පමණින්, ඔහු තුළ පවත්නා කම් සැප පිළිබඳ ආශාව හෙවත් කාමරාගය ප්‍රහාණය වීමත් සිදු නො වෙයි. කාමභෝගි ගිහි ජීවිත ගත කරන්නා වූ සෝතාපන්න ශ්‍රාවකශ්‍රාවිකාවන් ද මේ බුදු සසුනෙහි විද්‍යමාන වන්නේ එබැවිනි. දැහැමි ව කම් සැප විඳීමට සෝවාන් ඵලයෙන් බාධාවක් නැති බව ඒ අනුව පැහැදිලි වෙයි.
කෙසේ වෙතත් කාමභෝගී ගිහි දිවියක පවත්නා කාර්ය බහුල නොසන්සුන් අවිවේකී බව නිසා සෝවන් පුද්ගලයකුගේ නිවන් මග ඉදිරි ගමනට නම් එයින් විවිධ බාධා ඇති විය හැකි ය. බුදු පියාණන් වහන්සේ බොහෝ විට ගිහි ගෙය සම්බාධ බහුල තැනක් (සම්බාධෝ ඝරාවාසෝ) ලෙසත්, පැවිදි ජීවිතය හිස් අහස වැනි නිදහස් තැනක් (අබ්භෝකාසෝ පබ්බජ්ජා) ලෙසත් වදාරා ඇත්තේ එහෙයිනි.
එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ හමුවට පැමිණි ධම්මදින්න නම් උපාසකතුමා, තමා ගත කරන කාමභෝගී ගිහි දිවියේ ස්වභාවය අනුව බුදු පියාණන් වහන්සේගේ ගැඹුරු දේශනාවන්ට සිත යොමු කරමින්, ඒ දේශනාවන්ට එළඹෙමින් කාලය ගත කිරීම පහසු නොවන්නේ යැ යි පවසා ඇත:
ස්වාමීනි, අඹුදරුවන්ගෙන් බාධා ඇති ගිහිගෙවල්හි වෙසෙන්නා වූ, කසී සඳුන් ගල්වන්නා වූ, මල් ගඳ විලවුන් දරන්නා වූ, රන්-රිදී, මිල- මුදල් පරිහරණය කරන්නා වූ අපට, තථාගතයන් වහන්සේ වදාළ, යම් ඒ ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇත්තා වූ, ලෝකෝත්තර වූ, ශූන්‍යතා පටිසංයුත්ත වූ, සූත්‍ර දේශනාවන් අනුව කලින් කල වාසය කිරීම පහසු නො වෙයි. එහෙයින් ස්වාමීනි, පන්සිල්හි පිහිටා සිටින අප හට ගැළපෙන යම් උතුම් දහමක් දේශනා කරන සේක් වා.” (ධම්මදින්න සූත්‍රය, සෝතාපත්ති සංයුත්තය - සං.නි.)
බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ඉහත ප්‍රකාශය කළ ධම්මදින්න උපාසකයා පෘථග්ජනයකු නොවන බවත් ඔහු සතර සෝතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූ සෝවාන් ආර්ය ශ්‍රාවකයකුබවත් එම ධම්මදින්න සූත්‍රය විමසා බැලීමේදී පෙනී යයි. මෙසේ බුදු පියාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් තුළින් නැවත නැවතත් පැහැදිලි වන්නේ, ‘රැකීරක්‍ෂා ව්‍යාපාර කරමින්, මිලමුදල් පරිහරණය කරමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, කම් සැප විඳිනා ගිහියකු සෝවාන් පුද්ගලයකු විය හැක්කේ යයන්න අභව්‍ය කරුණක් නොවන බව යි.
කෙසේ වෙතත් මෙහිදී ප්‍රශ්නයක් මතු විය හැකි ය. එනම් මේ අයුරින් සෝවාන් පුද්ගලයන් ද කම්සැප විඳීමෙහි යෙදෙන්නේ නම්, ඔවුන් හා පෘථග්ජනයන් අතර ඇති වෙනස කුමක් ද යන්න යි. ඇත්තෙන් ම එහිලා ඔවුන් දෙපිරිස අතර විශාල වෙනසක් ඇත. ඒ වෙනස ඇත්තේ මූලික ව ම ඔවුන් කම්සැප සොයන හා කම්සැප විඳින ආකාරයෙහි ය. අශ්‍රැතවත් පෘථග්ජනයා කම්සැප සෙවීමේදී මෙන් ම කම්සැප විඳීමේදී ද ඕනෑ ම ආකාරයක පාපයක් කිරීමට යොමු විය හැකි ය. එහෙත් සම්මා දිට්ඨියෙන් යුත් සෝවාන් පුද්ගලයා නම් කිසි විටෙකත් කම් සැප සෙවීමේදී හෝ කම් සැප විදීමේදී හෝ අපාගත වන පාප සිදු නො කරයි. ඊට හේතුව, සෝවාන් පුද්ගලයාගේ කාමභෝගී ගිහි දිවිය දහමින් පෝෂණය වූ, දහමෙහි පිහිටියා වූ නිවැරදි ජීවිතයක් වීම යි. එවන් නිවැරදි කාමභෝගී ජීවිතයක දැකිය හැකි මූලික ලක්‍ෂණ සතරක් පිළිබඳ ව අංගුත්තර නිකායේ දසක නිපාතයේ උපාලි වර්ගයෙහි එන කාමභෝගී සූත්‍රයෙහිබුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත. ඒවා නම්:
1. දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ධන-භෝග ඉපයීමෙහිදී, සැහැසිකමින් තොර ව ඉතා දැහැමි ව ක්‍රියා කිරීම (ධම්මේන භෝගේ පරියේසති අසාහසේන)
2. දැහැමි ව උපයාගත් ධනයෙන් තම ජීවිතය සැපවත් කරගැනීමට හා පිනවීමට ක්‍රියා කිරීම (ධම්මේන භෝගේ පරියේසිත්වා අසාහසේන, අත්තානං සුඛේති පීනේති)
3. දැහැමි ව උපයාගත් ධනයෙන් කොටසක් තම මවුපිය, නෑහිතමිතුරු ආදි අන්‍යයන්ගේ, සැපය-සතුට වෙනුවෙන් වෙන් කිරීම හා පුණ්‍ය කර්මයන් සඳහා යෙදවීම (ධම්මේන භෝගේ පරියේසිත්වා... සංවිභජති, පුඤ්ඤානි කරෝති)
4. සැප සම්පත් කෙරෙහි ගිජු නොවී, මුළා නොවී, නොගැලී, ඒවායෙහි ආදීනවයන් ද දකිමින්, ඒවායින් මිදීමේ අවශ්‍යතාව ද නුවණින් වටහාගෙන සම්පත් පරිභෝජනය කිරීම (තේ ච භෝගේ අගතිතෝ අමුච්ඡිතෝ, අනජ්ඣාපන්නෝ, ආදීනවදස්සාවී, නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති)
(කාමභෝගී සූත්‍රය - දසක නිපාතය - අං.නි.)
ඉහත කාමභෝගී සූත්‍රයෙහි බුදු සමිඳුන් තවදුරටත් මෙලොව විද්‍යමාන වන කාමභෝගී ගිහියන් දස දෙනකු පිළිබඳ විග්‍රහ කර ඇත. එහි අවසානයේ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ, ඒ දස ආකාර කාමභෝගීන් අතරින් ඉහත සඳහන් වූ සතර අංගයන්ගෙන් යුත් පුද්ගලයාගේ ජීවිතය ම උතුම් වන බව යි; ශ්‍රේෂ්ඨ වන බව යි.
ගෘහපතිය, මේ දස කාමභෝගීන් අතුරෙන් යම් කාම භෝගියෙක් සැහැසිකමින් තොර ව, දැහැමින් භෝග උපයාගනියි ද, එසේ සැහැසිකමින් තොර ව, දැහැමි ව භෝග උපයාගෙන තමා සුවපත් කරයි ද, පිනවයි ද, ඒ භෝගයන් අන්‍යයන් හා බෙදාහදාගනියි ද, පුණ්‍ය කර්මයන් සඳහා යොදවයි ද, එසේ ම ඒ භෝගයන්හි ගිජු නොවී, මුළා නොවී, නොගැලී, ඒවායෙහි ආදිනව දකිමින්, ඒවායින් මිදීම දක්නා නුවණින් යුතු ව ඒ භෝග පරිභෝජනය කෙරේ ද, ඔහු මේ දස කාමභෝගීන් අතරින් අග්‍ර වෙයි; ශ්‍රේෂ්ඨ වෙයි; ප්‍රමුඛ වෙයි; උත්තම වෙයි; ප්‍රවර වෙයි.” (කාමභෝගී සූත්‍රය - දසක නිපාතය, අං.නි.)
ඉහත බුදු වදන්වලින් විස්තර වන්නේ දහමින් පෝෂණය වූ කාමභෝගී ගිහි ජීවිතයක උතුම් ස්වභාවය යි. මේ බුදු සසුනෙහි දහම් දුටු ගිහි ශ්‍රාවකයා ගත කරන්නේ එවන් උතුම් ජීවිතයකි. එය ගිහි දිවියත් - නිවන් මගත් එක් ව යන අවස්ථාවක්ලෙස හැඳින්විය හැකි ය. ඒ අවස්ථාවට පුද්ගලයකුගේ ජීවිතය පත් වන්නේ ඔහු තුළ නිවැරදි දහම් දැක්මක්ඇති වූ විට ය.
දහම් දුටු පුද්ගලයා තමාගේ මෙන් ම අනුන්ගේ ද ජීවිතවල යථා තත්ත්වය නුවණින් දකියි. තමා මෙන් ම අනුන් ද ජරා, ව්‍යාධි, මරණ, දුක් දොම්නස්වලින් ගැවසුණු තාවකාලික ජීවිත ගත කරන්නන් බව ඔහු වටහාගනියි. එහෙයින් බුදු පියාණන් වහන්සේ වදාළා වූ අයුරින් තමා උපමා කොට අනුන් දෙස බැලීමට ඔහු උත්සාවත් වෙයි.
තමා යම් සේ මේ ජීවිතයට ඇලුම් කෙරේ ද, මරණයට බිය වේ ද, සැපයට කැමති වේ ද, දුක පිළිකුල් කෙරේ ද, අන්‍යයෝ ද එසේ ම ය. අන්‍යයෝ ද ඔවුන්ගේ ජීවිතවලට ඇලුම් කරති; මරණයට බිය වෙති; සැප කැමති වෙති; දුක පිළිකුල් කරති. ඒ බව දන්නා වූ, ඒ බව නිතර මෙනෙහි කරන්නා වූ ඔහු තමාගේ සුඛ විහරණය පතා අනුන්ට දුක් පීඩා විපත් පැමිණවීමට කැමති නො වෙයි. අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන්, අන් සතු දේ පැහැරගැනීමෙන්, උපයාගන්නා සාහසික සැපයන්කෙරෙහි ඔහු බලාපොරොත්තු නො තබයි; ඒ වෙනුවට දැහැමි ව, අනලස් ව තම ජීවිතය සැපවත් කරගැනීමට උත්සාහවත් වෙයි; එසේ ම අනුන්ගේ ජීවන අවශ්‍යතාවන් කෙරෙහි ද සානුකම්පිත ව බලමින් තම ශක්ති පමණින් අනුන්ට පිහිට වෙයි; තමාගේ කාලයත් ශ්‍රමයත් ධනයත් තම ශක්ති පමණින් අනුන්ගේ යහපත පිණිස යොදවයි.
මෙසේ තමාටත් තමා ඇසුරු කරන්නන්ටත් වැඩදායක වූ දැහැමි ජීවිතයක් ගත කරන දහම් දුටු සත්පුරුෂයාමරණින් මතු ද සුගතිගාමි ව සැනසෙන්නේ යැ යි තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සේක.
ඔබ සැමට තෙරුවන් සරණයි !
උපුටා ගැනීම : http://www.namaskara.lk/…
ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත සැලසේවා!! සියලුම දෙනා අමා මහ නිවනින් සැනසෙත්වා!!
ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.


No comments:

Post a Comment

Mahamegha

Total Pageviews