දරු
ගැබක් ඇති වීමත්, එය
නැති කිරීමේ විපාකත් හෙළි කැරෙන මේ ලිපිය සුචරිතවාදීන් ලෙස පෙනී සිටින, එහෙත් මුදලට ගබ්සාවේ
යෙදෙන ඇතැම් වෛද්‍යවරුන්ට පරලොව සිහි කරයි.
දරු
ගැබ දිය වී යෑම හෝ දිය කිරීම, කලල රූපය විනාශ කිරීම හෝ විනාශ වීම ගබ්සාව
ලෙසින් හඳුන්වනු ලැබේ. ඒ අනුව ගබ්සා කිරීම යනු ඖෂධාදියෙන් හෝ වෙනත් උපක්‍රමයකින්
ගැබ විනාශ කිරීම යි; නො
එසේ නම් කලල රූපය දිය කර හැරීම යි. නූතන සමාජයේ ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බවට ගබ්සාව
පත් වී ඇත. ගබ්සාව නමැති සමාජ ගැටලුව පිළිබඳ ව සමාජය තුළ බොහෝ පර්යේෂණ, සාකච්ඡා සිදු වී ඇත.
මිනිසා
ද සත්ත්වයෙකි. පඤ්චකාම විෂයයෙහි ඇලීම් ස්වභාවයක් තිබුණ ද උසස් මනසක් ඇති නිසා ඉන්
ඈත් වීමේ හැකියාව ද ඔහු සතු ය. චින්තනය ඉතා උසස් ලෙස භාවිත කළ හැකි බැවින් මනුෂ්‍ය
සත්ත්වයා අනෙක් සත්ත්වයන්ට වඩා විශේෂ වේ. බුද්ධත්වය නමැති ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්
විය හැක්කේ ද මිනිසාට ම ය. එමෙන් ම පසේ බුදු, මහරහත්, බෝධිසත්ව ආදි වශයෙන් සාකච්ඡා කරන්නා වූ
මානසික දියුණුවේ උච්චතම අවස්ථාවන්ට පත් විය හැක්කේ ද මිනිසාට ම ය.
මිනිස්
සත්ත්වයාගේ උපත හුදු භෞතික ක්‍රියාදාමයක් නො වේ. දරු උපතක් සදහා පාදක වන ප්‍රධාන
සාධක තුනක් පිළිබඳ ව මජ්ඣිම නිකායේ මහා තණ්හාසංඛය සූත්‍රයෙහි දැක්වේ.
“මහණෙනි, තුන්දෙනකුගේ සමවධානයෙන්
ගර්භාවක්‍රාන්ති (ගැබ් ගැනීම්) වෙයි. මේ සත්ත්ව ලෝකයෙහි දෙමවුපියෝ සන්නිපතිත වෙත්
ද, (එතෙකුදු
වුව) මව ඔසප් නොවූ ද, ගඳඹෙක්
(එහි උපදනා තෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්භාවක්‍රාන්ති නො වෙයි. මෙලොව
දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව
ද ඔසප් වූ ද (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේ ද, එතෙකනිදු ගර්භාවක්‍රාන්ති නො වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමවුපියෝ
සන්නිපතිත වෙත් ද, මව
ද ඔසප් වූ ද, ගඳඹෙක්
එළඹියේ වේ ද, මෙසේ
තුන් දෙනකුන්ගේ සන්නිපාතයෙන් ගර්භාවක්‍රාන්ති වෙයි.”
මේ
අනුව දරුවකු පිළිසිඳගැනීම උදෙසා සම්පූර්ණ විය යුතු කරුණු මෙසේ ය:
1. මවුපිය
දෙදෙනාගේ කායික එක් වීම
2. දරු
ගැබක් හට ගැනීමට යෝග්‍ය ශාරීරික තත්ත්වයක් මවු කුසෙහි තිබීම (ඔසප් චක්‍රය ක්‍රියාත්මක
වීම)
3. උපතක්
අපේක්‍ෂා කරන ගන්ධබ්බයකුගේ පැමිණීම
මෙම
කරුණු සියල්ල සම්පූර්ණ වූ විට දරුවකු පිළිසිඳගන්නා බව බෞද්ධ අදහස යි. දරුවකු සඳහා
මවුකුස සකස් වීමේ දී මවගේ ගර්භාශයෙහි දරුවකු පිළිසිඳගැනීම සඳහා පියාගේ සෙනෙහස, ආදරය, රැකවරණය වැනි බාහිර සාධක
බෙහෙවින් හේතු විය හැකි බව සඳහන් වේ. නූතන විද්‍යාවට අනුව මෙහි දී ස්ත්‍රියකගේ
ඩිම්බාණුවක් පුරුෂයකුගේ ශුක්‍රාණුවක් සමග එක් වී යුක්තාණුවක් සෑදේ. ජීවිතයක ආරම්භය
යුක්තාණුව යි. එනම් ඒ මොහොතේ සිට ම මනස සකස් වේ. ඉදින් යුක්තාණුවෙන් ජීවය ඇරඹේ.
එසේ නම් කළලය යනු ජීවිතයකි. මෙලෙස මවු කුස පිළිසිඳගත් දරුවකුගේ වර්ධනය සිදු වන
ආකාරය පිළිබඳ ව බුදුදහම විග්‍රහ කර ඇත. සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රය මෙහි දී
විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. එක් අවස්ථාවක බුදු රජාණන් වහන්සේ ඉන්දකූට පර්වතයේ
ඉන්දක යක්ෂයාගේ භවනෙහි වැඩ සිටින විට යක්‍ෂයා බුදු රජාණන් වහන්සේගෙන් මෙසේ අසයි:
“බුදුවරයෙක්
රූපය ජීවය ය යි නො කියත්. (එසේ නම්) මේ සත්ත්ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ
කොයින් ඒ ද? මේ
තෙමේ කෙසේ නම් මවුකුස ලැගේ ද?”
බුදු
රජාණන් වහන්සේගේ පිළිතුර මෙසේ ය:
“පළමු
කොට කලල රූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගනී. පේසියෙන් ඝන නම්
මස් පිඬෙක් හට ගනී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගනී. ඉන් පසු කෙස් ද ලොම් ද නිය ද
හටගනිත්. ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද මවුකුසට පැමිණි ඒ සත්ත්ව
තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.”
මජ්ඣිම
නිකායේ මහාතණ්හාසංඛය සූත්‍රය ඒ පිළිබඳ ව තවදුරටත් මෙසේ දක්වයි:
“මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ
නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිවි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගුරුබරක් වන තෙල දරු
නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත් සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු
ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්ය විනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම්
වෙයි.”
ක්‍රමයෙන්
වර්ධනය වන්නා වූ දරු ගැබ දරමින් මව නම් උත්තම කාන්තාව අනතුරු ව මෙලොවට බිහි කරන
දරුවා තම ලෙය කිරට හරවා පෝෂණය කරයි. ගන්ධබ්බයකුගේ පැමිණීම යනු ප්‍රතිසන්ධි සිතක්
පහළ වීම යි. ගන්ධබ්බයා යනු උත්පත්ති විඥානය යි. ප්‍රතිසන්ධි සිතක් පහළ වන්නේ නම්
සැබැවින් ම එම යුක්තාණුව (කලල රූපය) යනු ජීවියෙකි. නො එසේ නම් මව තම කුස තුළ දරා
සිටින්නේ නූපන් ජීවයකි.
මවු
කුසක හටගත් නූපන් ජීවයා මරාදැමීම ගබ්සාව යි. බුදු සමයට අනුව ප්‍රාණඝාතය අකුසල
කර්මයකි. එසේ නම් ගබ්සාව ද එවැනි ම අකුසල කර්මයකි. නූතන ලෝකයේ දිනෙන් දින වැඩි
වෙමින් පවතින මේ මනුෂ්‍ය සංහාරය කිසිදු විටක බුදුසමය අනුමත නොකරන බව සඳහන් කළ යුතු
ය. මවු කුසෙන් බාහිර ලෝකයට පැමිණි දරුවකු නොවුව ද කුස තුළ පිළිසිඳගත් අවස්ථාවේ සිට
වර්ධනය වන්නේ ජීවිතයකි. ඒ ජීවිතයට ජීවත් වීමේ අයිතිය නැති කිරීම අකුසලයකි. එමෙන් ම
එසේ කිරීමට මවට හෝ පියාට හෝ වෙනත් කිසිවකුට හෝ අයිතියක් නැත. එය කෙසේ කළත් ප්‍රාණඝාත
අකුසලයකි. බුදුදහම පමණක් නො ව, කුමන ආගමක් වුව ද ගබ්සාව ප්‍රතික්ෂේප කරන බව
සඳහන් කළ යුතු ය. දරු ගැබක් විනාශ කිරීමෙන් සිදු වන්නේ මනුෂ්‍ය ඝාතනයකි. ගර්භනාශය
පුද්ගලයාගේ සාංසාරික ජීවිතය සඳහා බලපාන ආකාරය පේතවත්ථුවෙන් පැහැදිලි වේ.
පේතවත්ථුවෙහි
එන පඤ්ච පුත්‍රඛාදක පේතවත්ථුව පිළිබඳ ව විමසීමේ දී දරු ගැබ විනාශ කිරීමේ පාප කර්මය
සාංසාරික වශයෙන් බල පෑ ආකාරය සඳහන් කළ හැකි ය. සැවැත්නුවර අසල ගමක වාසය කළ
ගෘහපතියකුගේ බිරියට දරුවන් වැදීමට නොහැකි වූ බැවින් ඔහුගේ නෑදෑයන් ඔහුට පවසන්නේ
වෙනත් කාන්තාවක කැන්දාගෙන එන ලෙස යි. එහෙත් තම බිරියට ඇති සෙනෙහස නිසා ඔහු ඊට
අකැමැති විය.
මේ
පිළිබඳ ව අසා සිටින බිරිය, කුලවංශය
රැකගැනීම සඳහා වෙනත් කන්‍යාවක රැගෙන එන ලෙස ඔහුට පවසයි. ඒ හේතුවෙන් ඔහු තවත්
බිරියක කැඳවාගෙන එයි. කෙටි කලකින් ම ඈ ගැබ් ගනියි. එහෙත් මුල් බිරිය සිතන්නේ ඇයට
දරුවා ලැබුණ හොත් ඇය නිසා නිවෙසේ සතුට සොම්නස වර්ධනය වන හෙයින් තමන් ගැන නොසැලකීමක්
ද සිදු විය හැකි බව යි.
මෙහි
දී ඈ තුළ හටගන්නේ දැඩි ඊර්ෂ්‍යාවකි. ඒ නිසා ම ඇය එක්තරා පරිව්‍රාජිකාවක වෙත ගොස්
දරු ගැබ විනාශ කළ හැකි බෙහෙතක් ලබාගෙන එය ගැබිනියට නොදැනෙන සේ කිසියම් උපක්‍රමයකින්
ශරීරගත කරයි. එනිසා ඇගේ දරුවා ගබ්සා වෙයි.
එයින්
ශෝකයට පත් වන දෙවන බිරිය ද මේ පිළිබඳ ව තම මෑණියන්ට පවසයි. ඒ අවස්ථාවේ කරුණු විමසා
බැලූ ඔවුහු පළමු බිරිය සැක කොට, ඒ පිළිබඳ ප්‍රශ්න කරති. ඇය ඔවුන්ට ප්‍රකාශ
කරන්නේ තමන් එසේ නොකළ බව යි. එසේ නොකළේ නම් දිවුරන්නැ යි කී විට ඇය එසේ නොකළ බවට
මුසා පවසමින් එසේ කළේ නම් තමන් බිහි කරන දරුවන් තමන් ම කන දුගඳ හමන නිලමැස්සන් වසන
ප්‍රේතියක් බවට පත් වනු ඇතැ යි ශපථ කරයි. සත්‍ය ප්‍රකාශ නොකිරීමත්, කරන ලද ප්‍රාණඝාත අකුසල
කර්මයක් මත යම් දිනයක තමාට විපාක විඳින්නට සිදු වන බව ඇය නො සිතුවා ය; පවට බිය නොවූවා ය. එහෙත්
සිදු වූයේ කුමක් ද? ඇය
ඉක්මනින් මිය ගියා ය. කරන ලද අකුසල කර්මයේ විපාක සාංසාරික වශයෙන් ඈ කෙරෙහි බලපෑවේ
ය. ඈ ප්‍රකාශ කළ පරිදි ම දුර්වර්ණ නිලමැස්සන් ගැවසෙන, දුගඳ හමන ප්‍රේතියක ව එම
ගම සමීපයේ ම ඉපදුණා ය.
කරන
ලද කර්මය හොඳ හෝ නරක වුව ද එහි විපාකය විඳින්නට සිදු වන බව මෙමඟින් පැහැදිලි වේ.
එමෙන් ම මෙම කථා වස්තුවෙන් දැක්වෙන්නේ ගර්භානශයෙහි ආදීනව යි; ඊට ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදි අකුසල මූල
සිතිවිලි බලපාන ලද ආකාරය යි.
මේ
ප්‍රේතියට තමන් විසින් කරන ලද කර්මයෙහි විපාක දුරු කරගෙන සුගතිගාමි වීමට සිත්
වෙයි. බුදු රජාණන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා අට
නමකට තමන් දැක්වූ ප්‍රේතිය තමාගේ විස්තරය පවසයි. කුණු ගඳ ගසමින්, බියකරු රූපයෙන් යුතු ව
වස්ත්‍ර රහිත ව ඉතා පිළිකුල් ව සිටින ඇය ප්‍රකාශ කරන්නේ,
“ස්වාමීනි, මම යම ලෝකය නම් වූ ප්‍රේත
ලෝකයෙහි උපන්නා වූ, දුකට
පැමිණියා වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට
පැමිණියා වෙමි. උදය කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද, සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද වදමි. ඒ
වදන වදන දරුවන් මම ම කමි. ඒ දරුවන් දස දෙනා ම මගේ කුසගින්න නිවාගැනීමට ප්‍රමාණවත්
නො වේ. මගේ හෘදය හාත්පස උදරාග්නියෙන් දැවෙයි; දුම් දාන්නේ වෙයි. ඒ දැවිල්ල නිවාගැනීමට පිය
පැන් මට බීමට නො ලැබේ. විපතට පත් වූ මා දෙස බලනු මැනවි” යනුවෙනි.
ගබ්සාවක්
සිදු කරවීම හා මුසා පැවසීම නිසා ඇය ලැබූ ඉරණම මෙය යි. ප්‍රේතියක ව ඉපිද දරුවන් වදා
තම දරුවන් ම ආහාරයට ගන්නා තත්ත්වයට ඇය පත් වී ඇත. ඇය තවදුරටත් තමා විසින් කරන ලද
අකුසලය මෙසේ පැහැදිලි කරයි:
“ඉදින්
මම ඒ පුත්‍ර ගර්භය පතනය කළේ නම්, මගේ ම දූදරුවන් කන්නියක් වෙමි.” ඒ ගැබ හෙළීමේ ප්‍රාණඝාත
කර්මයාගේ ද මුසාවාද අකුසල කර්මයාගේ ද විපාක දෙක ම කරණ කොටගෙන, පූයාවෙන් හා ලෙයින්
වැකුණු සිරුරු ඇති ව, දරු
මස් අනුභව කරමි.”
මෙම
ප්‍රේතිය එම විපාකයට ගොදුරු වී ඇත. මෙවැනි ම තවත් සිදු වීමක් සප්තපුත්තඛාදක ජේතවත්‍ථුවේ
එයි.
නූතනයේ
ලොව පුරා විහිද ඇති ගබ්සා මධ්‍යස්්ථානවල දිනෙන් දින සිදු කරනු ලබන ගබ්සාවන්හි
විපාක ඊට සම්බන්ධ වන්නා වූ සියලු දෙනාට ම කවරදා හෝ විඳින්නට සිදු වන බව සඳහන් කළ
යුතු ය.
බුද්ධකාලීන
සමාජය තුළ පවා මෙවැනි ගැටලු දැකිය හැකි විය. එහෙත් වර්තමාන සමාජය තුළ මෙන් සමාජ
ගැටලුවක් බවට පත් නොවූ බව, විශාල
වශයෙන් ගබ්සා කිරීම් දක්නට නොලැබුණු බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඒ සඳහා එකල්හි ද
විවිධ ඖෂධ වර්ග ආදිය භාවිත කළ බව පෙනේ. උක්ත කතාන්තර මගින් ගම්‍යමාන වන්නේ ගබ්සා
කිරීම නිසා මානසික හා සමාජීය වශයෙන් ගැටලු ඇති වන බව යි. විශේෂයෙන් ම ඒ සඳහා බලපෑ
ප්‍රධාන සාධකය ද්වේෂය බව පෙනේ. ද්වේෂය පදනම් වූ ක්‍රියාවේ ප්‍රතිඵලය ද ද්වේෂ සහගත
වේ. මෙලොව එළිය වත් නුදුටු කිරිකැටි බිලිඳකු මරාදමන්නට සිතක් පහළ වන්නට නම් කොතරම්
ද්වේෂයක් ඇති විය යුතු ද? මෙසේ
අනුන්ගේ දරුවකු නො ව, තමන්ගේ
ම දරුවන් ගබ්සා කරන මවුපියෝ සිටිති. එසේ නම් ඒ ද්වේෂය කොතරම් ද? එහි විපාකය කෙබඳු ද?
එමෙන්
ම තමන්ට දරුවකු ජීවත් කරවීමට නොහැකි වුව ද තම ගැබෙහි පිළිසිඳගත් දරුවා මරා නොදමා
රැකගත් මවුවරුන් බුද්ධ කාලීන සමාජයේ පවා සිටි බව සඳහන් කළ යුතු ය. කුමාර කාශ්‍යප
මාතාව උදාහරණයකි. ඇය ගිහි කාලයේ තම ස්වාමිපුරුෂයාට දා ව කුසෙහි
දරුවෙක්
පිළිසිඳගනී. එහෙත් ඒ බව දැනගන්නේ උතුම් පැවිදි භාවයට පත් වීමෙන් අනතුරු ව ය. භික්‍ෂුණියකට
දරුවකු ලැබීම යනු කිසි සේත් ම යෝග්‍ය වූවක් නො වේ; එමෙන් ම විනය නීතිවලට එකඟ වූවක් ද නො වේ.
ගිහි ජීවිතයෙන්, කාමයන්ගෙන්
වෙන් වූ පැවිදි ජීවිතයට එය බරපතළ වරදකි.
ඒ
භික්‍ෂුණිය එම අවස්ථාවේ දී පත් වූ මානසික තත්ත්වය කෙබඳු ද? එහෙත් ඇය උතුම් බුදු මඟ
ගමන් ගත් භික්ෂුණියකි. ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාක ඇය හොඳින් දන්නී ය. එමෙන් ම
භික්‍ෂුණියක ලෙස ඇය කිසිදු වරදක් කර නොමැති නිසා දිරිමත් ව ගැබ දරා සිටිමින් පෝෂණය
කළා ය. ගිහි බැඳීම්වලින් අත්මිදීමට පැවිදි ජීවිතය තුළ වැර දැරිය යුතු වුව ද, ගිහි කල තමන් ලද මේ මහා
සම්පත විනාශ කරන්නට ඇය චේතනාවක් හෝ පහළ කර නොගත්තා ය.
බුදු
රජාණන් වහන්සේට ගැබිනි භික්‍ෂුණියක පිළිබඳ තොරතුරු සැල වූ විට උන් වහන්සේ ක්‍ෂණික
ව ඒ පිළිබඳ විමසන්නට කමිටුවක් පත් කළ අතර එතුළින් ඇය ගිහි කල දරුවකු හට ගත් බව
සාක්ෂාත් විය. සැබැවින් ම කුමාර කාශ්‍යප මාතාව නිදොස් වූවා ය. ඇය දස මසක් ඇවෑමෙන්
බිහි කළ පුතණුවන් ද බුද්ධ ශාසනයට ම පූජා කළා ය. එය ඇයට තවත් පුණ්‍යකර්මයක් විය.
භික්‍ෂුණියකට දරුවකු ලැබෙන්නට සිටින ආරංචිය පැතිරී ගිය විට බොහෝ දෙනා ඇයට
දෝෂාරෝපණය කරන්නට ඇත. ඇතැම් භික්‍ෂුණීන් ඇය ආරාමයෙන් නෙරපාදමන්නට උත්සාහ කරන්නට
ඇත. ඇතැම් විට ඇයට ප්‍රත්‍ය පහසුකම් පවා නොලැබී යන්නට ඇත. එහෙත් ඇය ඉවසුවා ය; තම පැවිදි භාවය හෝ
මාතෘභාවය විනාශ කර නොගත්තා ය. ගබ්සා කොට තම දරුවත් මරාදමන කාන්තාවන්ට ඇය ඉමහත්
ආදර්ශයකි.
ගබ්සාවක
දී විනාශ කරදමනු ලබන්නේ ජීවයකි; ජීවිතයකි; මනුෂ්‍ය සත්ත්වයෙකි; ප්‍රාණයකි. එසේ නම් එය
සැබැවින් ම ප්‍රාණඝාතයකි. ඒ ප්‍රාණඝාතය කරන්නා ද කරවන්නා ද ඊට උපක්‍රම යොදන්නා ද
ඊට අනුබල දෙන්නා ද චේතනාවක් හෝ පහළ කරගන්නා තැනැත්තා ද ප්‍රාණඝාත අකුසල කර්මයට
දායක වෙති. සිතට වහල් වී ලිංගික සබඳතාවල යෙදෙන්නන් තවත් ජීවියකු මරාදැමීමේ අකුසලය
තමන් විසින් කරගනු ලබන්නේ දැ යි පළමු ව සිතිය යුතු ය.