මහණෙනි! දිගු කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව විනාශ වන්නේ ද, එබඳු වු කාලයෙක් ඇති වේමය. එසේ ලොව විනාශ වන කල්හී සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබලෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔවුන් දීර්ඝ කාලයක් සිටිති . මහණෙනි,දිගු කලක් ඇවෑමෙන් යම් කිසි කාළයක මෙලොව නැවත ඇතිවන කාලයෙක් වෙයි. එසේ නැවත ලොව ඇතිවන කළ හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හී එක්තරා සත්ත්වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් චුතව හිස් බඹවිමනෙහි උපදී. හෙතෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුර එළියෙන් බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කළු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි. එහි ඔහු හුදකලාව බොහෝ කලක් වාසයකළ හෙයින් 'අන් සත්වයෝ ද මේ අත් බවට පැමිණෙන්නේ නම් යෙහෙකැ' යි ප්‍රාර්ථනාවක් තෘෂ්ණාවක් ඔහුට පහළ වෙයි. ඉක්බිති තවත් සත්වයෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් චුතව ඒ බඹවිමනට , ඔහුගේ සහභාවයට පැමිණෙත්, ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති , ස්වයම්ප්‍රභා ඇත්තෝ වෙති , ආකාශචාරී වෙති , සිත්කළු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොයෙක් සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ )වෙති . ඔහු එහි ඉතා දිඟු කලක් සිටිති . මහණෙනි, එහි යම් සත්ත්වයෙක් පලමු කොට උපන්නේ ද, ඔහුට මෙසේ සිතක් පහළ වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි. අන් හැම මැඩපවත් වා සිටින්නෙක් වෙමි. අනුන් විසින් නොමඩනා ලද්දෙක් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දන්නෙක් වෙමි, සියල්ලන් කෙරෙහි පවත්වන්නෙම් වෙමි, ඊශ්වර වෙමි, කර්තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින්ද ? යත්: 'අන් හැම සත්ත්වයෙකුම මෙහි මේ අත්බවට එන්නාහු නම් හොඳයැයි පූර්වයෙහි මට මේ සිත පහළ විය. මෙසේ මාගේ ප්‍රාර්ථනාව ද විය. මේ සත්ත්වයෝත් මගේ ඒ ප්‍රාර්ථනාව අනු ව මේ අත්බවට පැමිණ ඇත " යනු යි. යම් සත්වයෙක් පසුව උපන්නෝ ද ඔවුනට මේ සිත වෙයි. 'මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නේ ය, අනුන් විසින් නොමැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වසඟයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්තෘ ය, නිර්මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය, පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ උතුම් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින්ද ? යත්: මොහු වනාහී අපට පලමු ව මෙහි ඉපදී සිටි බව අපි දුටුවමු. අපි වනාහී පසු වැ උපන්නෝ වෙමු ” යනුයි.
සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රය
සූත්‍ර පිටකය/දීඝ නිකාය/බ්‍රහ්මජාල සූත්‍රය
No comments:
Post a Comment