Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, August 29, 2015

ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව


ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.
ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද? “
ඡත්ත ගුරු පූජාව ශිෂ්‍ය යාගේ වත්කම අනුව සිදුවිය යුතුයි .
ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.
ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද? “
ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි.
මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවා ද? “
ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද? “
ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න’’යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි තං සුගතං සරණත්ථ මුපෙහී
කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
රාග විරාග මනෙජ මසොකං ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථ මුපෙහි
ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.
යත්ථ ච දින්නමහප්ඵල මාහු චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ සංඝමිමං සරණත්ථ මුපෙහි
යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.
ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා. සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේ දී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.
ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.
භාග්‍යවතුන් වහන්සේ ද ඡත්ත ගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහපිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.
මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක්ද’’? අවට සිටියවුන් කලබල වූවා.
ඡත්ත දේවේන්ද්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.
මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරු ද’’?
ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.
විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.
රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා.
දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නි සාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? “
භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.
ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.
සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා
ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව යි.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

සටහන නයනා නිල්මිණි

(
බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි)


Curtesy බෞද්ධයා - The Buddhist

Path to Nirvana


අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ සේලා භික්ෂුණිය මෙන් උපවාලා භික්ෂුණිය ද පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට එක් ගසක් මුල විවේකීව වැඩසිටිමින් කල් ගෙවු සේක. එම අවස්ථාවේ උපචාලා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී මාරයා එම භික්ෂුණිය වැඩසිටින අන්ධ වනයට පැමිණ ඒ උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීය.
කත්වනුත්වං, භික්ඛුනි, උප්පජ්ජිතුකාමාති
මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”
ඒ ඇසූ උපචාලා භික්ෂුණිය පාපී මාරයාට මෙසේ කීහ.
න ඛ්වාහං, ආවුසො, කත්ථචි උප්පජ්ජිතුකාමාතී
ඇවැත්නි, මම වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමියිඑවිට පාපී වූ මාරයා නැවතත් මෙසේ කීය.
තාවතිංසා ච යාමා ච, තුසිතා චාපි දෙවතා,
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
තත්ථ චිත්තං පණිධෙහි, රතිං පච්චනුහොස්සසීතී.
තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.
එයට පිළිතුරු වශයෙන් උපචාලා භික්ෂුණීය පාපී මාරයාට මෙසේ වදාළහ.
තාවතිංසා ච යාමා ච, තුසිතා වාපී දෙවතා,
නිම්මානරතිනො දෙවා, යෙ දෙවා වසවත්තිනො,
කාමඛන්ධනබද්ධා තෙ, එන්ති මාරවසං පුන.
සබ්බො ආදිපිතො ලොකො, සබ්බො ලොකො පධුපිතො,
සබ්බො පජිජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො
අකම්පිතං අපජ්ජලිතං, අපුථුජ්ජනසෙව්තං,
අගති යත්ථ මාරස්ස, නත්ථ මෙ නිරතො මනොති
තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.
කෙලෙස් ගින්නෙන් මුළු ලොව ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය. සියලු ලොව සැලී ගියේ ය.
යම් තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින් සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේය.
මෙයින් පරාජය පිළිගන්නා මාරයා උපචාලා භික්ෂුණිය මා හඳුනා ගත්තේ යැයි අසතුටු සිතින් යුතුව වහා එයින් පළා යයි.
චාලා උපචාලා හා සිසුපචාලා යන භික්ෂුණීන් තෙනම දම් සෙනවි සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරියන්ය. චාලා හා සිසුපචාලා යන භික්ෂුණීද අන්ධවනයෙහි හුදකලාව වෙසෙන අවස්ථාවන්හි මාරයා එහි පැමිණ ප්‍රශ්න කර ඇත. එම අවස්ථාද සංයුක්ත නිකායේ භික්ෂුණී සංයුත්තයේම සඳහන්ව ඇත.
උපචාලා භික්ෂුණිය හමුවට පැමිණෙන පාපී මාරයා ඒ උත්තමාවියගෙන් විමසා සිටින්නේ මරණින් මතු කුමන ස්ථානයක ඉපදීමට කැමති ද කියාය. ඒ උත්තමාවිය දෙනු ලබන පිළිතුර වනුයේ තමන් කිසිදු ස්ථානයක ඉපදීමට කැමැත්තක් නැති බවයි. එය රහත් උතුමන්ගේ ස්වභාවයයි. ඒ උතුමන් ජාතිය හෙවත් ඉපදීම නැති කරන ලදී. බඹසර වැස යුතු නිමකරන ලදී. කළයුතු සියල්ල කරන ලදී. එබැවින් නැවත ඉපදීමක් හෙවත් ආත්ම භාවයක් ලැබීමක් නැත. (බිණාජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථායාති පජානාති) යනුවෙන් දහමෙහි සඳහන් වන්නේ මෙම ස්වභාවයයි. මෙවන් ස්වභාවයෙන් යුක්ත වූ උපචාලා රහත් උත්තමාවියට දිව්‍ය ලෝක පිළිබඳ විස්තරයක් කොට එහි සිත අලවා උපදින ලෙස ප්‍රකාශ කරයි.
පාපී මාරයා
තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්මාණ රති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය.
එයට පිළිතුරු වශයෙන් උපචාලා රහත් භික්ෂුණීන් වහන්සේ දේව ලෝකයන්හි යථා ස්වභාවය මොනවට පසක් කරමින් මෙසේ පිළිතුරු දෙයි.
උපචාලා භික්ෂුණිය
තව්තිසා, යාම, තුසිත, නිර්මානරති, වසවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙව් කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වසඟයට නැවත එන්නාහ. කෙලෙස් ගින්නෙන් මුළු ලොව ඇවිලගත්තේ ය. මුළු ලොව තැවුණේ ය. සියලු ලොව දිලිහි ගියේ ය. සියලු ලොව සැලී ගියේ ය. යම් තැනක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කම්පිත නොවූ, පෘථග්ජන නොවුවන් විසින් ආර්යයන් විසින් සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ඒ නිවනෙහි මා සිත මුළුමනින් ඇලුණේ ය.
මිනිසුන් දෙවියන් වශයෙන් දෙව් ලොව උපදින්නේ ඔවුන් කරන යම් යම් කුශල කර්මයන්ගේ බලවත් බව නිසා බව අප කවුරුත් දනිමු. එහෙත් එය නිෂ්ඨාවක් හෙවත් නිමාවක් නොවේ. තාවකාලික ආශ්වාදයක් ඇති තැනකි. එම කුශල කර්ම අවසන් වීමෙන් ඇතැම්විට දෙවියන් වශයෙන් උපන් අය දුගතිගාමී වීමට ද පුළුවනි. එබැවින් අප උත්සාහ කළ යුත්තේ දෙව් ලොව ඉපදීමට වඩා මේ උපන් උතුම් මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගෙන උතුම් නිවන් අවබෝධකර ගැනීමට බව උපචාලා භික්ෂුණියගේ කතාවෙන් අපට පැහැදිලි කර දෙයි.
තෙරුවන් සරණයි!
මහරැඹෑවැවේ පාලිත හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!


ධර්ම දානය : www.facebook.com/path.nirvana

Monday, August 17, 2015

පසේ බුදුවරයෙකුට මඟ පෙන් වූ සුනඛයෙකුගේ කතාව


දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි කොතුහලිකනම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.
ගමන් අපහසුතාවයක්, ඉසිලිය නොහැකි තරමේ කුසගින්නත් තුළින් ගමන් කරන පුරුෂයා සිය බිරිය අමතා මෙසේ පැවසීය. අපට ගමන් විඩාවයි. කුස ගින්නයි. දරුවාත් රැගෙන මේ ගමන යා නොහැකි යි. දරුවා මඟ දමා යමු. සැමියාගේ මෙම අදහසට බිරිඳ විරුද්ධ වූවා ය. අවසනදී ඔවුන් දෙදෙනාම එක් නිගමනයකට එළැඹුණි. ඒ දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යෑමය.
මවගේ අතින් පියාගේ අතටත්, පියාගේ අතින් මවගේ අතටත් වශයෙන් වරින් වර මව්පියන්ගේ අතට මාරුවන දරුවාට ගමන් විඩාවත්, කුසගින්නත් නිසා පියාගේ අතේ දී නින්ද ගියේ ය. මේ අවස්ථාව දරුවා හැරදමා යෑමට හොඳයැයි කල්පනා කළ කොතුහලික තම බිරිඳ ඉදිරියෙන් ගමන් ගැනීමට සලස්වා ගසක් යට කොළරොඩු ගොඩක් උඩින් දරුවා තබා තමන් ද ගමන් ගත්තේ ය. සෑහෙන දුරක් ගමන්ගත් බිරිඳ තම පුරුෂයාගේ අතින් දරුවා ගැනීමට ආපසු හැරී බලද්දී පුරුෂයා අත දරුවා නොමැති නිසා මහත්සේ විලාප තබන්නට පටන් ගත්තේ ය. දරුවා නොමැතිව තමන් කොහේවත් නොයන බව විලාප තබමින් බිරිඳ පැවසීම නිසා තමා දරුවා හැරදමා පැමිණි ස්ථානයට වහාම දිවගිය කොතුහලිකදරුවා රැගෙන බිරිඳ සිටි ස්ථානයට පැමිණියේ ය. කුසගින්න සහ වෙහෙසකාරී තත්ත්වය මත දරුවා ඒ වන විට මරණයට පත් වී සිටියේ ය. එතෙක් ආදරයෙන් රැකගත් දරුවාගේ මෘත දේහය මහමඟ දමා ඔවුන් දෙදෙනා යළි කොසබෑ නුවර දක්වා ගමන් කරන්නට පටන් ගත්හ.
කොතුහලික සහ බිරිඳ මෙසේ ගමන් ගනිද්දී එක් ගොවිපල් ගෙදරකට (ගවයින් ඇතිකරන නිවසකට) පැමිණියෝ ය. මෙදින මේ නිවසෙහි උත්සවයකි. ඒ තමන් කිරි ලබා ගන්නා ගවදෙනුන් නාවා, ආහාර පානාදිය සපයා ඔවුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් පුද සත්කාරයකි.
මෙම ගොපළු ගෙදර එක්තරා පසේ බුදු නම දන් වැළඳීම පිණිස නිරතුරුව වඩිති. මේ ගොපළු ගෙදරට මෙදින ද එම පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. පසේ බුදුරදුන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව ගොපළුතෙමේ පැමිණි ආගන්තුක අඹු සැමි යුවළට ගිතෙල් සමඟ කිරිබත් කෑමට දුන්නේ ය. බිරිඳ සිය සැමියාට ඇති ගෞරවය නිසා ආගන්තුක නිවසකදී ලැබුණ ගිතෙල් සහ කිරිබත් පළමුව ඔහුට කෑමට සැලැස්සුවා ය. දින ගණනක් ආහාර අහේනියට ගොදුරුව සිටි කොතුහලික රසවත් කිරිබත සහ ගිතෙල් නොසෑහෙන සේ ගිල දැමුවේ ය. ගොපළු තෙමේ ආහාර ගන්නා අවස්ථාවේ දී ගෙදර සිටි බැල්ලට ද කිරිබත් සහ ගිතෙල් කෑමට දුන්නේ ය. මේ පිළිබඳව තණ්හාදික චිත්තයක් ඇතිකරගත් කොතුහලික මේ බැල්ල මෙවන් රසවත් ආහාර ලැබීමට පින්කර ඇත්තියක්යැයි කල්පනා කළේ ය. එම ආහාර දිරවා ගැනීමට නොහැකිව කෝතුහලික පමණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එදින රාත්‍රි මරණයට පත්විය.
කොතුහලිකගේ මරණාසන්න චේතනාවේ ප්‍රතිඵලයක් හැටියට එම බැල්ලගේ කුස බලු පැටියකු වී උපන්නේ ය. කොතුහලිකගේ බිරිඳ සිය සැමියාගේ දේහය ආදාහනය කර එම නිවසෙහිම සේවය කරමින් සිටියා ය. තමන් කරන ලද සේවයට සහල් නැළියක් උපයාගත් කොතුහලිකගේ බිරිඳ එයින් දානයක් උයා පසේ බුදුරදුන්ට පුද දී මියගිය තම සැමියාට පුණ්‍යානුමෝදනා සිදු කළාය. පසේ බුදුරදුන් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කල්පනා කළ කොතුහලිකගේ බිරිඳ එම නිවසෙහිම නතර වී සිටියා ය. නිවසේ සිටි බැල්ල කල්ගතවීමෙන් බලු පැටවෙකු වැදුවා ය. බලු පැටවා නොබෝ දිනකින් වැඩී ගියේ ය. පසේ බුදුරදුන් ගොපළු ගෙදරට දානයට වඩින සෑම දිනයකම මෙම සුනඛයාට බත් පිඩක් දීමට අමතක නොකළහ. එහෙයින් එම බල්ලා බුදුවරයාණන් කෙරෙහි දැඩිසේ හිතෛෂීකමක් දැක්වීය.
වනාන්තරගත අරණක වැඩ වාසය කරන පසේ බුදුවරයාට දිනකට දෙවරක් වතාවත් කිරීම පිණිස ගොපළුතැන යන සෑම අවස්ථාවකම නිවසේ සිටින මෙම සුනඛයා ද ඔහු සමඟ යන්නේ ය. වන සතුන් ඇති ගමන් මඟකින් යෑමට ඒමට ඇති නිසා මුගුරකින් ගස්කොළන් වලට තට්ටු කරමින් ශබ්ද නංවමින් යන මෙම ගමන ඉතාමත් බියකරු බව සුනඛයා ද අවබෝධ කරගෙන සිටියේ ය.
තමන්ට පැමිණීමට නොහැකි දිනට, තමන් ඇතිදැඩි කරන මෙම සුනඛයා එවා දානයට බුදුරදුන් කැඳවාගෙන ඒමට හැකිබව ගොපළු තෙමේ පසේ බුදුවරයාට දැනුම් දුන්හ. පසේ බුදුරදුන් ද ගොපල්ලාගේ එම ආරාධනාව සතුටින් පිළිගත්හ. මෙසේ දින කීපයක් ගතවෙද්දී ගොපල්ලා තමන්ගේ සුනඛයා අමතා මෙසේ කීය.
අද දහවල් දානයට පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්න. තොප යන්නයැයි ගොපල්ලා පැවසූ සැනින් සුනඛයා පිටත්විය. කටුක ගමන් මඟේ දී තමන්ගේ ස්වාමියා (ගෙහිමියා - ගොපල්ලා) ගස් කොළන් වලට පහරදී වනසතුන් පලවා හරින ස්ථාන දැනගෙන සිටි සුනඛයා එම ස්ථාන වලදී මහත් හඬනඟා බුරමින් වනසතුන්, පලවා හරිමින් ගමන් කරන්නේ ය. මෙසේ ගමන් කර පසේ බුදුවරයා වැඩ වාසය කරන පන්සලට ගොස් තුන් වරක් ශබ්ද නගා බුරමින් තමන් ආ බව දැනුම් දී සිටියි. නියමිත වේලාව එළඹී බුදුරදුන් දානයට වඩින අවස්ථාව වනතෙක්ම ආවාස කුටිය සමීපයට වී සිටින සුනඛයා බුදුවරයා දානයට පිටත්වීමට මඟට බසිද්දී ඌ ඉදිරියෙන් ගමන්ගනී. වන සතුන් ගැවසෙන ස්ථාන වලදී ශබ්ද නගා බුරමින් යන මේ සුනඛයා පරීක්‍ෂා කරනු පිණිස පසේ බුදුරදුන් සමහර තැනකදී වෙනත් අතුරු මාර්ගයකට හැරෙන්නට සැරසෙති. මාර්ගය වැරැදී යැයි සිතන සුනඛයා එවන් අවස්ථාවලදී පසේ බුදුවරයාගේ සිවුරු පොට කටින් අල්ලා නියමිත මාර්ගයට පමුණුවනු ලබයි. මෙම චර්යාව නිතරම සිදුවෙද්දී සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි අසීමිත ස්නේහයකින් කල්ගත කළේ ය.
මෙසේ කාලයක් ගතවෙද්දී බුදුවරයාගේ සිවුර දිරාපත් වී ගියේ ය. එය දැකීමෙන් පසුව ගොපල්ලා විසින් සිවුරක් සකස් කර ගැනීම පිණිස පසේ බුදුවරයාට වස්ත්‍රයක් පූජා කරනු ලැබීය. තනි මට සිවුරක් සකස් කර ගැනීමට දින දීපයක් ගතවන බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයකට යා යුතු බව පසේ බුදුවරයා ගොපළු තැනට දැනුම් දී සිටියහ. මේ කතාව නිවසේ ඇති කළ සුනඛයා අසා සිටියේ ය. ගොපළු තැනගෙන් සමුගත් පසේ බුදුවරයා සුනඛයා දෙස බලා සෘද්ධියෙන් අහසට නැගී ගන්ධ මාදනපර්වතය බලා වැඩියහ. අහසින් වඩිනා බුදුරදුන් දෙස බලා සිටි සුනඛයා බුදුරදුන් නොපෙනෙන තෙක් බලා සිටිමින් තෙවරක් බුරා හදවත පැළී මිය ගියේ ය.
එම සුනඛයා මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවේ ය. දෙවඟනන් දහසක් පිරිවරා දිව්‍ය සම්පත් ලබමින් සිටියි. කනට කොඳුරා කතා කරන විට එම හඬ දොළොස් යොදුනක් දුරට පැතිරී යන්නේ ය. පියවිහඬ දස දහසක් යොදුන් දුරට පැතිරී යන්නේ ය. ඒ නිසාම මෙම දිව්‍ය පුත්‍රයාට ඝෝෂකයන නාමය පට බැඳුනේ ය. පසේ බුදුවරයාට ස්නේහ වන්තව ගෞරවාන්විතව කටයුතු කිරීමේ කුඩා කුශලයෙන් මේ තරම් දිව්‍ය සම්පත් විඳීමට හේතුවූයේ පහන් සිතින් කුඩා වූ හෝ පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වලට හේතු සාධක වන බව සනාථ කරමිනි.

ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමි.


sourse - Path to Nirvana

Saturday, August 8, 2015

ලොව්තුරු බුදු නෙතින් දුටු මේ අද්භූත ස්ථානය බර්මියුඩා තරිරි කෝණය ද?









මේ ලොව හා ඉන් ඔබ්බට ඇති සියලූ ධර්මයන් අතැඹුලක්සේ දුටු, නිකෙලෙස් සිත් ඇති එ් අති උත්තම ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ අනාවරණ ඥනසැබැවින් ම ආශ්චර්යජනක ය. අප ගෞතම බුදු සමිඳුන් හතළිස් පස් වසරක් දේශනා කළ ධර්මයන්ට හසු නො වූ කිසිවක් මේ මිහිපිට දකින්නට නැත. නවීන විද්‍යාවට පවා සොයාගත නො හැකි වූ, අප වැනි ම මිනිසුන් සහිත චූලනිකා සහස්සී ලෝක ධාතුන්ගේ සිට දස සහස්සී ලෝක ධාතූන් ද ඉක්මවා සක්වළ තතු බුදු නෙතින් දැක පෙන්වා දෙයි. සැබැවින් ම නවීන ලෝකය සොයාගෙන තිබෙන්නේ බුදු නෙතින් දුටු දෙයින් ඉතා අල්පයක් පමණි.
අද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් බර්මියුඩානම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණු යැයි කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත‍්‍රා බොහෝමයක් යළි ආවේ නැත.
ලෝකයේ බොහෝ විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණය පිළිබඳව විවිධ පර්යේෂණ කළ ද එ් සියල්ල නිමා වූයේ ප‍්‍රතිඵලයන් වෙනුවට යම් යම් මත පමණක් සමාජයට ඉතිරි කරමින් ය.
මෙම ප‍්‍රදේශය හරහා යන යාත‍්‍රා අභ්‍යවකාශ ජීවීන් විසින් පැහැරගන්නා බව බොහෝ දෙනා අදහස් කළ අතර, ඇතැමෙක් කීවේ මුහුදු පතුලේ සිදුවන මීතේන්වායු ක‍්‍රියාවකින් යාත‍්‍රා විනාශ වන බවකි. එහෙත් අදට ද ඇතැමෙක් මෙය ඇමරිකානුවන් සිතා මතා කරන ක‍්‍රියාවක්ලෙස පෙන්වා සිටී. එහෙත්, මීට දෙදහස් පන්සිය වසරකට පෙර අප සම්බුදු සමිඳුන් තිලෝගුරු ඥනයෙන් දැක කළ පැහැදිලි කිරීමකින් හෙළි වූයේ බර්මියුඩාවේ අබිරහස දැයි අපට සිතේ.
තෙවලා බුදු බණඅතරට අයත් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 456 වන ජාතකය වූ සූප්පාර ජාතකයේ දී වළබා මුඛ / වඩබා මුඛලෙස එක්තරා ප‍්‍රදේශයක් පෙන්වා දී තිබේ. එම ප‍්‍රදේශයේ වේලි බිඳගෙන එන දියපහර සේ සිව්දිගින් මහා දිය රළ පැමිණෙන බවත්, කන් බිහිරි කරවන, ළය පැළී යන තරම් බියජනක ශබ්ද ඇති බවත්, එක් පසෙක මහා රළක් නැගෙද්දී අනෙක් පස තෙරක් නො පෙනෙන දිය සිඳුණු ප‍්‍රපාත ඇති වන බවත් පවසා තිබේ.
ජාතක අටුවාවෙහි එක් ගාථාවක ‘‘සූඤ්ඤභමානුසෝලෙස මිනිසුන් පිළිබඳ නො වූ මුහුදලෙස වඩබා මුඛය හඳුන්වමින්, එහි අමනුෂ්‍ය හඬ පැතිර යන බව ද පවසයි.
අවීචි මහා නිරයෙන් විවර වූ ගිනි දැල්වලින් මුහුදු දියකඳ පවා දවා දමන, අශ්ව මුඛයක හැඩය ගත් ස්ථානයක් ලෙස පෙන්වන මෙම භූමිය පිළිබඳ බුත්සරණයේනාලාගිරි දමනයේ ද සඳහන් වන අතර, ථූපවංශයේ ගැමුණු රජුගේ ව්‍යාධියේ’, ”සියලූ සතුන් මරණ නැමති වඩබා මුඛයෙහි පතිතව විනාශයට පැමිණෙති.යැයි උදාහරණයකට ගෙන ඇත.
ගිය අයෙකුගේ හෝ ගිය යාත‍්‍රාවක යළි පැමිණීමක් නැති, දියේ ගිලී එ්කාන්තයෙන් ම වැනසී යන බර්මියුඩා මුහුදු කලාපය වැනි ස්ථාන මිහිපිට හමු වී ඇත්තේ එපමණක් ම ය. එවන් මකරයක් තුළට ගොස් නිරුපද්‍රිතව යළි පැමිණි යමෙක් වේ නම් එ් භරුකච්ඡු පටුන්ගමින්මුහුදු ගිය අප බෝසතුන් ඇතුළු පන්සියයක් පිරිස පමණි.
තමා නුවණැති බවට පත් වූ දා පටන් එකදු සතෙකු හෝ හිංසාවට ලක් නො කළ සත්‍යයේ බලයෙන් එදවස සත්සියයක් දිවි ගැලවූ එ් උත්තමයෝ ආදර්ශයෙන් ම අපට සිහිපත් කරන්නේ සීලය නම් අසහාය බලයක්, අද්භූත ඇඳුමක්, මහේශාක්‍ය පාලමක්බව ම ය.
සමයාන්තර සියලූ ආගම් විද්‍යාව අබියස අසරණ වෙද්දී, උත්තම ලෙස බබළන, උතුම් දහමේ සරණ ගිය අප, එ් ශාක්‍ය සිංහයාණන් ගත් මග ගොස් නිවී සැනසුන අරහන්තක සිංහ පෝතක උත්තමයන්ගේ පිය සටහන් ඔස්සේ වහ වහා ගමන් කරමු. සැමට එ් අමා නිවන් සුව බොහෝ දුර නො වේවා!!!
මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
අනුරසිරි කෝට්ටේගොඩ

සම්පූර්ණ ලිපියට>>>http://mahamegha.lk/mahamegha-today/bermuda-thrikonaya

Monday, August 3, 2015

*** අට මහා කුසල් ***



බෞද්ධ ජනතාව දෙලොව අභිවෘද්ධිය සළසාගැනීම සඳහා නිවන් දහම් පසක් කරගැනීම සඳහාත් විවිධ පින්කම් දහම්වල නිරතවෙති. ඒ අතර ප්‍රකටම පුණ්‍ය ක්‍රියාවන්නේ දාන සීල හා භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝය. එසේම දස පුණ්‍ය ක්‍රියා දසකුසල් ආදියෙද නිරතව පින් සිදුකරගනිත්. මේවා ඉතා ප්‍රකට පුණ්‍ය ක්‍රියාවන්ය. තවද දිවා රාත්‍රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්‍රයෙහි සඳහන් වේ. ඒවා නම් මෙසේය.

1. ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.
2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.
3.ඒ.ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)
4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)
5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)

ඉහත දැක්වෙන පිංකම් සිදුකරන්නන්හට දිවා රාත්‍රී පින් වැඩෙන බව බණපොතෙහි සඳහන් වේ. තවද බුදුදහමේ අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. ඒ පිළිබඳව බොදු ජනතාවගේ මතකය අවදි කරවීමට දැනුවත් කිරීමට මෙම ලිපිය මගින් අවධානය යොමුකෙරේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේමෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.
පඨවි රිව න ජාතු කම්පතෙ - නචලකි මේරු රිවාති වායුනා
වජිර මිව න හිජ්ජතේ ඝණං - තමිද මතො කඨිනන්ති වුච්චතියන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.
උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්‍ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.
කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.
මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙයන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කථා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්‍යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් මැනවින් තහවුරු වේ.

▬▬▬▬▬▬▬▬▬ අට පිරිකර පූජාව :- ▬▬▬▬▬▬▬▬▬

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනොයෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

▬▬▬▬▬▬▬▬▬ ආවාස දානය ▬▬▬▬▬▬▬▬▬
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම ශාක්‍ය රජදරුවෝ නිග්‍රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්‍රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.

▬▬▬▬▬▬▬▬▬ සංඝික දානය ▬▬▬▬▬▬▬▬▬

අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.
බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.
මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්‍ය ක්‍රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්‍යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්‍යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්‍යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.
මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් වේ.

පෞද්ගලික දාන 14 මෙසේය.
1.බුදුරජාණන් වහන්සේට දෙන දානය
2.පසේ බුදුවරයන්ට දෙන දානය
3.රහතන් වහන්සේලාට දෙන දානය
4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය
5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය
6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය
7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය
9.සෝවාන් පුද්ගලයාට දෙන දානය
10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය
11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය
12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය
13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය
14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.
සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්
1.බුද්ධ ප්‍රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය
2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය
3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය
4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය
5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය
6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.
7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්‍රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.

▬▬▬▬▬▬▬▬▬ ධර්මය ලියවීම ▬▬▬▬▬▬▬▬▬

අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.
පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනයයි. ප්‍රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්‍රතිවේධ නම්වේ.
බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.
විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්‍රන්ථ ලියවීම ලිවීම මුද්‍රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්‍යාග ශීලීන් විසින් ද ධර්ම ග්‍රන්ථ ලිවීම ධර්ම පත්‍රිකා ලිවීම මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. සබ්බදානං ධම්ම දානං ජිනාතියන බුදු වදනට අනුගතව ධර්මය ප්‍රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්‍රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.

▬▬▬▬▬▬▬▬▬ කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම) ▬▬▬▬▬▬▬▬▬

භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.

▬▬▬▬▬▬▬▬▬ බුදුපිළිම කරවීම ▬▬▬▬▬▬▬▬▬

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.

▬▬▬▬▬▬▬▬▬ වැසිකිළි කරවීම ▬▬▬▬▬▬▬▬▬

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.
එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

Mahamegha

Total Pageviews