පංචශීල
ප්‍රතිපත්තියම උතුම්ය. එහි එක් සිල් පදයක් හෝ නිසියාකාරව ආරක්ෂා කරන්නේ නම් මහත්
ඵල මහානිසංස මෙලොවදීම ලබන්නේමය. මේ පුවත සීහළවත්ථුව ඇසුරෙන් මතු කරගත් තවත් සිරි
ලක බණකතාවකි.
ධන සම්පත්තියෙන් හා භව-භෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ සුරට්ඨ
නම් දනවුවෙහි සීලවන්ත වූ භික්ෂූන් වහන්සේ වැඩ-වාසය කරන විහාරයකි. එහි මහානිධි
පර්වතය අසල ධුතාංගධර යෝගාවචර පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් වැඩ-වෙසෙති.
දිනක් උදෑසන උන් වහන්සේ පිඬු සිඟා වැඩ ලද ආහාරය තැනක
තැබූහ. මහ රෑ මුළුල්ලේ සොරකමේ යෙදුණු දරුණු සොරෙක් සා-පිපාසාවෙන් පෙළුණේ
විහාරස්ථානයට යනුයේ තෙරුන් පි¾ඩු
සිඟා ලද ආහාරය දකියි. යම් ලෙසකින් ‘මේ
හාමුදුරුවන් වහන්සේ මට ආහාර ස්වල්පයක් නොදුන්නේ නම් මම අද රෑ විත් සිවුරු-පාත්‍ර
සොරකම් කරන්නෙමි’ යි හෙතෙම පසෙකට වී තනිවම
සිතමින් සිටියේය. හාමුදුරුවන් වහන්සේද දානය වළඳන්නට සූදානම්ව සොරා දැක, “පින්වත ආහාර ගන්නැ” යි
කාරුණිකව ඇරියුම් කළහ. සා-පිපාසාවෙන් පෙළුණු සොරා ඒ ආහාර මහත් ගිජු ලෙසින් අනුභව
කොට සන්තෝෂයට පත් විය. හේ මෙසේ කියන්නට විය:
“හාමුදුරුවන් වහන්ස, මම වනාහි දරුණු සොරෙක්මි. යම් හෙයකින් මට ආහාර බිඳක්
නොදී සිටියේ නම් ඔබ වහන්සේගේ පා-සිවුරු සොරකම් කරන්නට මම අදහස් කරගෙන සිටියෙමි. මට
සමා වනු මැනවි, ස්වාමීනි!”
“හොඳයි හොඳයි. මම ඔබට සමාව දෙමි.
ඉදින් තොප මා කියන දේ කරන්නේ නම් එකක් කියමි. එනම්: පන්සිල් ආරක්ෂා කරව.”
“ස්වාමීනි, පන්සිල් කියන්නේ මොනවාද?”
යෝගාවචර භික්ෂූන් වහන්සේ පන්සිල් පද එකිනෙක සොරුට
පැහැදිලි කළහ. එවිට සොරා “ස්වාමීනි, මේවා නම් මට ආරක්ෂා කරන්නට බැහැ” යි කියන්නට විය. ඉනික්බිති දෙදෙනා අතර මෙබඳු කතා-බහක්
ඇති විය:
“පින්වත් පුරුෂය, පහම රැකීම අපහසු නම් හතරක් රකින්න.”
“බැහැ, ස්වාමීනි.”
“තුනක් වත් රකින්න.”
“බැහැ, ස්වාමීනි.”
“එසේ නම් පින්වත, සිල් පද දෙකක් ආරක්ෂා කරන්න.”
“බැහැ ස්වාමීනි, මට අපහසුයි ස්වාමීනි.”
“හොඳයි, ඔබ එක සිල්පදයක් වත් ආරක්ෂා කරන්න.”
“හොඳයි ස්වාමීනි, මම ඒ පහෙන් පරදාර සේවනයෙන් වෙන් වීම නම් වූ තුන්වන
සිල්පදය ආරක්ෂා කරන්නෙමි.”මෙලෙස සොරු අවසන තුන්වන සිල්පදය
රැකීමෙහි පොරොන්දු විය. හාමුදුරුවන්ගෙන් අවසර ගෙන හෙතෙම නික්ම ගියේය.
සොරා එදින සොරකම් කිරීමට යොමු වූයේ ධනවත් ගෙදරක සිටිනා
ගොනුන් තිදෙනකුය. හේ මධ්‍යම රාත්‍රියෙහි කාටත් හොරෙන් බොහෝ පරිස්සමින් ගෙට ඇතුළු
විය. ගෙදර ගෘහිණියගේ ඇසට සොරු ලක් විය. වහා ඇය සිත ඔහු පිළිබඳ සිතක් පහළ වෙයි.
“තරුණය, මේ මහ රෑ ආයේ කුමක් පිණිසද?”
“ඔබගේ ගෙදර සිටිනා ගොනුන් ගෙනයෑම
පිණිසය.”
“තරුණය, තොප මා කීවාක් කරන්නේ නම් තොප කැමැති ඕනෑම දෙයක් ගෙනයෑමට
ඉඩ දෙමි.”
“හොඳයි. මා කළ යුත්තේ කුමක් ද?”
“කාමයට ගිජු වුණේ යුද්ධයට බැඳීමද, ජලයට පිවිසීම ද, සොරුන්
අතරට යෑමද, මහා වනාන්තරයට ඇතුළු වීමද, පර්වත දුර්ගයකට පිවිසීමද සැලකිල්ලට නොගනී. තොප මා කාම
සන්තර්පණයෙන් පිනවව! තොප එසේ කරන්නේ නම් තොපගේ සියලු අවශ්‍යතා සාර්ථක වන්නේය.”
“ස්ත්‍රිය, මම එබන්දක් අසන්නට වත් කැමැති නොවෙමි. මම පරදාර සේවනයෙන්
වැළකීම නම් වූ සිල්පදය රකින්නෙක්මි. කිසි සේත් මම ඊට එකඟ නොවෙමි.”
මේ සංවාදය ගෘහ හිමියාට ඇසෙයි. හේ වහා අවදිව සොරා
අල්ලාගනියි; තම බිරියගේ අත්-පා ගැටගසයි.
“යහළුව, මම සියලු කථාව අසා සිටියෙමි. මේ ස්ත්‍රියගෙන් මට වැඩක්
නැත. ඇය අදම ගෙයින් පන්නමි. තොප අද සිට මගේ කල්‍යාණ මිත්‍රයෙකි; සහෝදරයෙකි. මේ ගෙදර ඔබගේ ලෙස සලකන්න. අවශ්‍ය දෑ අරගන්න.”
සොරු පුදුම විය.
‘මම ආරක්ෂා කළේ එක්ම එක් සිල්
පදයක් පමණි. ඉන් මම එක් රැයින් මහා සම්පත් ලැබීමේ භාග්‍යය ලැබීමි. මට අවශ්‍ය වූ
ගොනුන්ද ලැබීමි. එපමණක් නොව, යහපත්
ධාර්මික සහෝදරයකු, මිත්‍රයකු ලැබීමි. මරු බිය දුරු
වී ප්‍රිය ජීවිතය ලැබීමි. ඇත්තටම සිල්පද පහම රකින්නවුන්ට කෙතරම් නම් ඵල ලැබෙනු
ඇද්ද? දැඩිව පන්සිල් රකිමි.’
මෙසේ සිතන්නට වූ හෙතෙම මහත් සතුටින් භික්ෂූන් වහන්සේ වෙත
ගොස් සියලු පවත් දන්වා, “එක් සිල්පදයක් රැකීමෙන් මරණ
බියෙන් මිදුණෙමි. දැන් අපා බියෙන්ද සසර දුකෙන්ද මා මුදනු මැනවි. මා හට පන්සිල් දුන
මැනවි. මම එය දිවිතෙක් සුරකිමි” යි
පැවසීය.
“පින්වත, ඔබට තිසරණ සහිත පංචශීලය දෙමි. ඒ සුරැකීමෙන් දුගතියෙන්
මිදෙයි; මිනිස් නොමිනිස්, තිරිසන් සියලු දෙනාගේ විශ්වාසය ලබයි; දිව්‍ය-මනුෂ්‍ය-ආර්ය සම්පත් ලබයි.”
සතුටු
සිතැති සොරු බැති සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වූයේ, සිල්පද රකිමින්, පව්
නොකරමින් ධර්මයෙන් සතුටු වන විශිෂ්ට උපාසක තැනැත්තකු බවට පත් වූයේය.
Courtesy - බෞද්ධයා - The Buddhist
No comments:
Post a Comment