● ස්වාමීන් වහන්ස, පංච මාර
ගැන කිවුවනේ. එතෙන්දි ආයතන හය අවබෝධයෙන් දකිනකොට තමයි මේ මාරයො නැති වෙන්නෙ නේද?
ඔව්. ස්කන්ධ මාර කියලා කිවුවෙ ඇහැ ඇති බව.
රූපය ඇති බව. චක්ඛු විඤ්ඤාණය ඇති බවට නේ. එයාට හටගෙන නිරුද්ධ වෙනවා මිසක දුක් වි`දින්න. මරණ දුක් වි`දින්න ඇහැ, රූපය, චක්ඛු විඤ්ඤාණය ඉපදෙන්නෙ නැති නිසා ස්කන්ධ
මාර නෑ. ඊට පස්සෙ හටගෙන නැතිවෙනවා කියලා දකින නිසා ඇලෙන්න ගැටෙන්න කෙලෙස් උපදින්න
ක්ලේශ මාරත් නෑ. ඇති බවට හම්බවුනොත්නෙ තියෙන දේ අරබයා හිතනවා කියනවා කරනවා කියන එක
හම්බ වෙන්නෙ. හටගෙන නිරුද්ධ වෙනවා නම් හිතීම් කීම් කිරීම් නිරුද්ධ වෙනවා මිසක කර්ම
රැස්වෙනවා කියලා එකක් නෑ. අභිසංස්කාර මාරත් නෑ. හටගෙන නිරුද්ධ වෙන එක්ම ආයතනයක් ඒක
ද ධර්මතාවයක් වුනොත් ජීවත් වෙන්නෙක් නෑ. එතකොට මැරෙන්නෙක් නෑ.
‘තේසං තේසං ධම්මානං ජරා ජීරණතා’
ඒ ඒ ධමයන්ගේ ජරා ජීරණතාවයක් තියෙනවා.
ඒ ඒ ධමයන්ගේ ජරා ජීරණතාවයක් තියෙනවා.
‘තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ව
නිකායෙ’
ඒ ඒ සත්වයන්ගේ දිරීමෙන් මිදෙනවා
ඒ ඒ සත්වයන්ගේ දිරීමෙන් මිදෙනවා
රහතන් වහන්සේ කියන තැනත් ස්කන්ධයක්
තියෙනවා. ස්කන්ධයන්ගේ ජරාවක්, ස්කන්ධයන්ගේ විදීමක් තියෙනවා. නමුත්
පුද්ගලයෙක්ගෙ ජරා මරණයක් නෙමෙයි. හඩන වැලපෙන එකක් නෙමෙයි.
‘තේසං තේසං ධම්මානං ඛයො වයො භේදො’
● ස්වාමීන් වහන්ස, මේ කය
අනිදස්සනයි කියන තැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න.
ඔතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ
රූපය පිරිසිද දකින්න කියලා. රූපය පිරිසිද දැක්කොත් අනාගාමී වෙනවා කියලා කියන්නේ
ඕදාරික කබලිංකාහාරයෙන්ම මිදෙනවා. කබලිංකාහාරයෙන් යුක්ත කයින් ම මිදෙනවා. ඒකත් හො`ද භාවනාවක්. කරන්න පුළුවන්නම්. තමන් දක්ෂ
වෙන්න ඕන. ආයතන කුසල වෙන්න ඕන. ඇහැට පෙනෙන්නෙ මොනවද? රූප. හොදට තමන් ස්ථාවරම වෙන්න ඕන නුවණින්.
ඇහැට යම් රූපයක් පෙනුනානම් ඒක රූපායතනයක්මයි. ඇහැට පෙනෙන රූප වර්ණ සටහනක් පමණමයි.
ඒක බාහිරයි.
දැන් බලන්න ඒ අදහස ඇතුලත තබාගෙන බාහිර
රූපයක් දිහා බැලූවත්,
තමන්
කියන ශරීරය දිහා බැලූවත් ඇහැට පේන වර්ණ රූපයක්මයි කියන එක එයාගෙ නුවණට ආවොත් කය දැකලා
තියෙනව ද?
පේනව ද? නෑ. ඒකයි
මං කිවුවෙ මේකට දක්ෂ වෙන්න ඕන කියලා. සත්‍යයේ පිහිටන්න. බොරු කරන්න බෑ. ඉස්සෙල්ලා
කිවුවා ඇහැට පෙනෙන්නෙ රූපමයි. පොට්ඨබ්බය එහෙම පේනවද? පේන්නෙ නෑ. කය ඇහැට පේන්නෙ නෑ. ඇහැට
පේන්නෙ රූප විතරමයි. ඒක ද වර්ණ සටහනක්. ඒක ද බාහිරයි. ඇහැට කය පේන්න විදියක් නෑ, මොකද
සනිදස්සන එකම එක ආයතනයයි තියෙන්නෙ. රූපායතනය විතරයි. නිදර්ශනයක් දෙන්න පුළුවන්.
දකිනවා කියලා කියන්න පුළුවන්. එකම එක ආයතනය රූපායතනය විතරයි.
පටිසම්භිදා මග්ගයෙ ඥාණ කතාවල දහසය වෙනි
වස්තු නානත්වය ඥාණය,
පහළොස්වෙනි
ගෝචරනානත්ව ඥාණය එහෙම ටිකක් බලන්න, අන්න ඒ මට්ටමට නුවණ හදාගත්තහම හො`දටම ඇති. ඒවයෙ තියෙනවා ආයතනයන්ගෙ නුවණ
හදාගන්න ඕන මට්ටම. කොහොමද ආයතන ටික දකින්න ඕන. බාහිර ගෝචර ධමයෝ දකින්න ඕන. රූප
ශබ්ද ගන්ධයන් අරබයා නුවණ හදාගන්න ඕන කොහොමද කියලා.
‘රූපං බාහිරං වවත්ථෙති’ රූපය
කියන එක බාහිර ධමයක් කියලා හො`දට තීරණය කරන්න කියනවා.
‘රූපං මහා භූතානං උපාදාය රූපං වවත්ථෙති’ රූපය
කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නෙවෙයි. ඒ මහා භූතයන්ගෙ උපාදාය රූපයක්. වර්ණ
සටහනක් කියන එක හො`දට තීරණය
කරන්න කියනවා.
‘රූපං අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති
වවත්ථෙති’
පෙර
නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙන ධර්මයක් කියලා නුවණින් බලන්න කියනවා. දැකපු එක
තියෙනවා තියෙන එක දකිනවා එහෙම නෙවෙයි.
‘‘රූපං අවිද්‍යා සම්භූතං, කම්ම
සම්භූතං,
තණ්හා
සම්භූතං,
ආහාර
සම්භූතං වවත්ථෙති’
ඒ
රූපායතනය අවිද්‍යාව කර්මය තණ්හාව ආහාර කියන ඒවගෙනුයි හටගත්තෙ කියලා හොදට බලන්න.
අනිච්චතො,
දුක්ඛතො, රෝගතො, මේ
විදියට පෙන්නනවා නුවණින්. ඇහැට පෙනෙන දේට කියනවා රූපය කියලා, රූපය
ඇහැට විතරයි ගෝචර වෙන්නෙ. ඇහැ රූපය විතරයි ගොදුරු කරගන්නෙ. ඒ රූපය ගැන හො`දට බැලූවහම රූපය බාහිරම ධර්මයක්. ඒ බාහිර
රූපය,
කෙලෙස්
නිසයි අපි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකට බෙදාගෙන තියෙන්නෙ. කෙලෙසුන්ගෙන් ආධ්‍යාත්මික
බාහිර කරගෙන ඉන්න ලක්ෂණයටයි කාමාවචර කියලා කිවුවෙ.
සමචිත්ත පරියාය සූත‍්‍රයෙදි මතක් කරලා
තියෙනවා. එක්ම රූපායතනය ආධ්‍යාත්මික බාහිර කියලා දෙකට බෙදන්න බෑ. මේක බාහිරමයි.
වර්ණ සටහනක් කියලා දැක්කොත්, ආධ්‍යාත්මික පැත්ත කැපෙනවා. ඒකයි ඇත්ත.
කෙලේසෙ අතහැරුනොත් විතරයි දෙකට බෙදීම අතහැරෙන්නෙ. එතකොට බාහිර රූපයක් බැලූවත්
තමන්ගෙ ශරීරය දිහා බැලූවත් පේන්නෙ වර්ණ සටහනක්ම විතරයි මිසක කය පෙනෙන්නෙ නෑ. දැන්
පේන මතකයක් තිබුනොත් පෙනෙනකොට ම, මේක ඇහැට පෙනෙන්නෙ චිත‍්‍රයක් කියන නුවණ
ආවා නම් කය කියලා මොකක් ද හම්බවෙන්න තියෙන්නෙ.
නාසය ගත්තොත් නාසය දන්නෙ නෑ. දැකලා නෑ.
ඇහැ දැකලා නෑ. කන දැකලා නෑ. කය දැකලා නෑ. කවදාවත් දැකලා නැති දෙයක් අරබයා කෙලෙස්
තියෙන්න විදියකුත් නෑ. එතකොට අපි හැමකෙනෙකුටම සැබැවින් ම හම්බ වෙලා තියෙන්නෙ
රූපායතනය,
ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය
කියන ටික ඔය බාහිර ස්පර්ශ ආයතන හය ඇතුලෙ කෙලෙසුන්ගෙන් ආධ්‍යාත්මික ආයතන හදාගෙන
තියෙන්නෙ. ඒකයි මේක පුදුම වැඩක් කියන්නෙ.
දැන් ඇහැට පේන බාහිර රූපායතනය තුලයි ආධ්‍යාත්මික
බාහිර කියලා හදාගෙන තියෙන්නෙ. කනට සාපේක්ෂව ශබ්දය. ඒ ශබ්දයයි තමන්ගෙ ශබ්දය අනුන්ගෙ
ශබ්දය කියලා දෙකට බෙදාගෙන තියෙන්නෙ කෙලෙසුන්ගෙන්. නාසයට සාපේක්ෂව ගන්ධය බාහිරයි.
කෙලෙස්වලට තමයි ඒ ගන්ධය මගේ. අනුන්ගෙ කියලා දෙකට බෙදාගෙන තියෙන්නෙ. මේ වගේ
කෙලේසයකිනුයි අපි මේ ගුටි කන්නෙ. කාමාවචර කියන්නෙත් ඒකයි. ආධ්‍යාත්මික සංයෝජන
තියෙනවා නම් ඒ කාමාවචර. බාහිර සංයෝජන කියන්නෙ බාහිරමයි කියන මට්ටමට හිත තියලා තමයි
ආධ්‍යාත්මික සංයෝජන වලින් මිදෙන්න වෙන්නෙ.
● ස්වාමින් වහන්ස, මනසෙ
රූපයක් ඇතිවෙලා නැතිවෙනකොට වර්ණ සටහනක් වගේනෙ දැනගන්නෙ. ඒක බාහිර රූපයට ගලපන්න
පුළුවන් ද?
වණයක්
දැකලනෙ රූපය කියලා අල්ලගත්තෙ කියලා මනායතනය පැත්තෙන් ම හිතලා බාහිරේට ගලපන්න බැරිද
ඒ රූපය?
‘චක්ඛුංච පජානාති, රූපංච
පජානාති යංච තදුභයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති.
මනංච පජානාති ධම්මංච පජානාති යංච තදුභයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති’ කියන පරියායක් තියෙනවා.
මනංච පජානාති ධම්මංච පජානාති යංච තදුභයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති’ කියන පරියායක් තියෙනවා.
ඇහැත් දැනගන්න, රූපයත්
දැනගන්න ඒ දෙන්නා නිසා උපදින සංයෝජනත් දැනගන්න. මනසත් දැනගන්න. ධම්මාරම්මණත්
දැනගන්න. ඒ දෙන්නා නිසා උපදින සංයෝජනත් දැනගන්න කියලා.
දැන් අපිට ඇහෙන් බැලූවත් සත්වයෙක්
පුද්ගලයෙක් බාහිරේ ඉන්න කෙනෙක් කියලයි හිතෙන්නෙ. කාමාවචර මට්ටමේ සංයෝජනය. ඊට පස්සෙ
මනසින් ඇතිවුනත් අපිට සංයෝජනය තියෙන්නෙ බාහිරේ ඉන්න කෙනෙක් කියන තැනකින් නිසා දැන්
අපිට ගෙවෙන්න ඕන සංයෝජනය තියෙන්නෙ බාහිර. ඒ නිසා දැන් හිතට සිහි වුනත් අපි
මෙතෙන්දි නුවණින් බැලිය යුතුයි.
අපි කියමු දරුවා කියලා සිහිවෙනවා. දැන්
මේක සිතින් උපන්න විතර්කයක් නේද හටගෙන නැතිවෙනවා නේද කියලා බැලූවට හරියන්නෙ නෑ.
මොකද මෙහේ ඉන්නවා කියන හැගීම තියෙනවා. එහෙනම් දැන් ගෙවෙන්න ඕන කෙලේසෙ. ස්කන්ධ ටිකේ
නෙමෙයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ කෙලේසෙ. ඒ නිසා දරුවා කියලා සිහිවෙනකොටම මේක මනෝ
සම්ඵස්සයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා - ඇත්ත ඒක තමයි ඒ වුනාට තවම ඒ ඇත්ත දකින්න
අපි සුදුසු නෑ.
අපි දරුවා කියලා සිහිවෙනකොට ම, දරුවා
කියලා කියන්නෙ හම ද,
මස් ද, ලේ ද, නහර ද, ඇට ද, ඇටමිදුලූ
ද. එතන තියෙන්නෙ ආහාරය නේද?
ආහාරයෙන්
හැදුන රූපයක් නේද කියලා ඒ උපදින සංයෝජනය ඇති වෙන තැනටයි සිහි නුවණ යෙදිය යුත්තෙ.
එහෙම කරනකොට යම් දවසක් තියෙනවා කෙලෙස් අඩුවෙනකොට, දරුවා කියලා සිහිවෙනකොට නෑ මේක මනෝ
සම්ඵස්සය නිසා හටගත්ත එකක්. මනෝ සම්ඵස්සය නැතිවෙනකොට නැතිවෙනවා කියලා බලන්න
පුළුවන් පෙනෙන රූපායතනයට ගැට ගහන්නෙ නැතුව.
දැනට පළවෙනි අදියරේදි මනසින් සිහිවෙන දේ
පෙනෙන රූපායතනය හැටියට සලකලා නුවණින් බලන්න. මොකද අපේ ආශ‍්‍රවය තියෙන්නෙ, සංයෝජනය
තියෙන්නෙ පංචායතනයෙ නිසා. කාමභූමියට මනසත් ධමාරම්මණත් කාමාවචර වෙලා තියෙන්නෙ.
පංචායතනය අනුව ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා ඒ මනායතනය ධම්මායතනය වුනාට ඒක රූපාවචර
වෙන්නෙ නෑ අපිට. යම් දවසක් තියෙනවා බාහිරේට යන මට්ටමේ කෙලෙස් අඩුවෙලා සිහි නුවණ
පවතින මට්ටමක් ආවහම ඔන්න මේ උපදින විතර්ක මනෝ සම්ඵස්සය නිසා කියලා බලන්න පුළුවන්.
එතකම් මම කියන්නෙ භාවනා කරන කොට මේ කාලෙදි ගෙදර මතක් වුනා, දරුවා
මතක් වුනා කියලා කියනකොට ඒ ඒ හිත්වල අනිත්‍යය බැලූවට අපේ හැ`ගීම් තියෙන්නෙ බාහිර ඉන්නවා කියන තැනකින්
නම් ඒ හැගීම ගෙවෙන්න ඒ අරමුණ අල්ලගෙන විදර්ශනා කරන්න. සිහිවෙනවා කියන්නෙ මනෝ
සම්ඵස්සයක් බව ඇත්ත වුනාට එතන අපිට පිහිටලා ඉන්න බෑ. මේක සිතුවිල්ලක්. ස්පර්ශය
නිසා හටගෙන ස්පර්ශය නිරුද්ධ වෙන කොට නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කළාට ‘නෑ. දරුවා එහේ ඉන්නවනේ’ කියන හැ`ගීම තියෙනවා
ඒ හින්දා නැවත නැවත හිත් උපදිනවා. එහෙනම්
ඒ බාහිර කෙනෙක් ඉන්නවා කියන හැ`ගීම ලිහෙන තැන ඉදලා එන්න ඕන. බාහිර යන්න
දෙයක් නැති වුනොත් තමයි මනස බාහිරට යන්නෙ නැතුව තමන් තුල ම නතර වෙන්නෙ. එහෙම නතර
වුනාම තමයි,
ස්පර්ශය
නිසා හටගත්ත දේ නැතිවෙනවා කියන එක පෙනෙන්නෙ. ඒ නිසා උපදින අරමුණේදි ඒ ස්පර්ශ
ආයතනයට නැඹුරු වෙලා විදර්ශනා කරන්න කියන එක තමයි මතක් කරන්නෙ.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2013 ඔක්තෝබර් මස 13 වන දින
මාතලේ දී කරන ලද ධර්ම දේශනය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර
වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත්
දායක වන්න!
තෙරුවන්
සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
Courtesy - Path to Nirvana
No comments:
Post a Comment