Home

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, October 27, 2014

පින අත්හැර ගන්න එපා…

පින අත්හැර ගන්න එපා
පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුණු දවසේ ඉඳලා ටික ටික ගෙවෙන්නේ පිනනේ. මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ පුංචි කාලයේ කරදරයක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, ඒක ඉවර වුණා. ඊට පස්සේ ළමා කාලයේ ඉන්න යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. තරුණ කාලයේ යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. මේ විදිහට ඉවර වෙවී යන්නේ පින නේද? එතකොට මේ විදිහට පින ඉවර වෙවී යද්දී එයා අළුතින් පිනක් රැස් කරන්නේ නැත්නම් පින ඉවර වූ ගමන් පෙරට එන්නේ පවයි.
බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දීත් පින් රැස්කරපු නැති අය හිටියානේ. ඔබ අහලා තියෙනවනේ අපුත්තක සිටාණන් ගැන. දරුවෝ නැති එක සිටුවරයෙක් හිටියා. එයාගේ සිටුදේවියත් මැරුණා. එයා එතැන සම්පූර්ණයෙන් අධිපති වෙලා සිටියේ. නමුත් එයාගේ කරත්තේ හිටියේ නකුටු අශ්වයෝ දෙන්නෙක්. හණ වැහැරිවලින් තමයි කරත්තය සරසලා තිබුණේ. මෙයා ගෝනි පඩංගුවක් තමයි ඇන්ඳේ. ඊළඟට මෙයා නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. මෙයා එහෙම ජීවත් වෙලා මැරිලා ගියා.
ඊට පස්සේ සියලු වස්තුවම රජයට අයිති වුණා. ගණන් කරලා බලද්දී රත්තරං විතරක් කෝටි අසූවක් තිබුණා. ඉතින් දවසක් දවල් කාලයේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගියා.
එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා,
රජතුමනි, මොකද මේ මහ දවල්…? මේ කොහේ ඉඳලා එන ගමන්ද..?”
අනේ ස්වාමීනී, අර අපුත්තක සිටාණෝ මළා නෙව. එයාගේ දේපලවලට කවුරුවත් අයිතිකාරයෝ නෑ. ඒක රජය සතු වුණා. ඒකෙ ගණන් හිලව් බලන්න ගිය ගමන් මම මේ ගොඩවුණේ. ඒ සිටු මාළිගාවේ රත්තරං විතරක් කෝටි අසූවක් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයා හරියට කාපු කෙනෙක් නෙවෙයි. හරි හමන් ඇඳුමක් ඇඳලත් නෑ. ගෝනි පඩංගු තමයි පොරවලා තියෙන්නේ. වාහනේ හැටියට තිබිලා තියෙන්නේ නකුටු අශ්වයෝ දෙන්නෙක් යොදවපු කරත්තයක්. ස්වාමීනී, ඔහුගේ පරලොව ජීවිතය කුමක් වේවිද?”
රජතුමනි, දැන් එයා නිරයේ…” කොසොල් රජ්ජුරුවෝ උඩ ගියා.
…! භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේද…?” කියලා තුන් වතාවක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ තුන් වතාවේම එයා නිරයේ කියලා කිව්වා.
බලන්න, එයාට සිටු පවුලක උපදින්න ඵල දුන්නේ සංසාරයේ කරන ලද පිනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙයා අතීත ජීවිතයක පසේබුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන්න අන් අයව පෙළඹෙව්වා. ගෙදර කට්ටියට දන් දෙන්න කියලා කිව්වා. හැබැයි පස්සේ දීපු දේ ගැන පසුතැවුණා. සිත අපහදවා ගත්තා. අනේමේ දේ සේවකයෙකුට දුන්නා නම් අඩු ගණනේ උදලු ගා ගන්නවත් තිබුණාඑහෙම නම් වත්තේ පිටියේ හරි වැඩක් කරවා ගන්නවානේ…’ කියලා පසුතැවුණා. නමුත් දන් දෙන්න කියලා කියපු නිසා ඒ හේතුවෙන් හත් වතාවක් සිටු තනතුරු ලැබුණා. මේ හත්වෙනි වතාව.
ඉතින් අර තිබුණු පින් ඉවර වෙවී ගියා. එතෙක් කාලයකට පිනක් කරලා නෑ. ඒ අතර වාරයේ මෙයා එක වතාවක් ඉඩම් පළහිලව්වකට ළමයෙක් මරලා නිරයේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ආයෙමත් අර පින මතුවෙලා සිටු පවුලක ඉපදුණා. ඉපදුණාට දීපු දේ සතුටින් දුන්නේ නැති නිසා කන්න හිතෙන්නේ නෑ. අඳින්න හිතෙන්නේ නෑ. හොඳට ජීවත් වෙන්න හිතෙන්නේ නෑ. ඒ වගේම එයා අලුතින් පිනක් කරගත්තෙත් නෑ. ඒ නිසා අර මිනී මැරුමට සම්බන්ධ සංසාර කර්මයේ ඉතුරු ටික මතුවෙලා ආයෙමත් නිරයේ ගියා.
එතකොට බලන්න පින්වතුනි, මෙහෙම වෙන්නේ පින් රැස්කර ගන්න ලැබෙන අවස්ථාවලදී ඒ අවස්ථාව අත්හැරීම නිසා නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අඩු ගණනේ කුසල් රැස්කිරීම පිණිස සිතක්වත් උපද්දවන්නකියලා. මම ඔබට නිතර නිතර කියලා තියෙනවා නේද, අඩු ගණනේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන සිත පහදවා ගන්න කියලා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, නිවන ගැන සිත පහදවා ගන්න කියලා. මොකද, ඒ සිත පහදවා ගැනිල්ලත් අපට යම්කිසි දවසක ධර්මාවබෝධ කරන්න උපකාර වෙනවා.
මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


Friday, October 17, 2014

මෛත්‍රී බුදුන් පහල වීම

මෛත්‍රී බුදුන් පහල වීම


( මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)

මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.

මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.

අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

මෙලොව පහළ වීම.

සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා.

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.

මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් රෝහල් අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ මැති ඇමති පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

මෙම ලිපිය කියවූ ඔබ ලිපිය වැදගත් කියා සිතනවානම් යාලුවන්ටත් මේ ලිපිය කියවන්න දෙන්න


Tuesday, October 7, 2014

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා 

සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි. 
ශාරීරික ධාතූන් වහන්සේලා
ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කේශ ධාතූන් වහන්සේලා
නඛ (නිය) ධාතූන් වහන්සේලා
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
භින්න ධාතූන් වහන්සේලා
පාරිභෝගික ධාතූන් වහන්සේලා
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
සිරිපා සටහන්
පටී ධාතූන් වහන්සේ
ජලසාටිකා ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ
01
ලලාට ධාතූන් වහන්සේ
නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි.
"
මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.
එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.
02
අකු ධාතූන් වහන්සේලා
අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි.
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ.
දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය "ථූපාරාම මහා සෑය" ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ.
(
එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. )
දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත.
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි.
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය.
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී "සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු" යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය.
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
03
දාඨා ධාතූන් වහන්සේලා
සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" (Canine) නම් වූ දත් විශේෂයයි.
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට "දාඨා" යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා" යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.
ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?
ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.
අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය "සෝමාවතී මහ සෑය" නම් වෙයි.
මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.
වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?
ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.
වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?
දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.
අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද?
මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ.
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත.
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. "චීන දළදාවහන්සේ" යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.
04
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත " ග්‍රෙවී කශේරුකා " නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.
බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.
වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය.
(
මෙහි සියලු තොරතුරු උපුටා ගත්තේ ලද්දේ ගයාන් චානුක විදානපතිරන මහතා විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා පිලිබද විස්තර කරමින් රචිත "ධාතු විස්තරය" නම් වූ ග්‍රන්තයෙනි.)
පුණ්‍යානුමෝදනාව : සමාධි සිල්වා


Mahamegha

Total Pageviews